ඉන්දියාව ශ්‍රී ලංකාව ඇතුළු රටවල් කිහිපයක් සමග නිදහස් වෙ⁣ළෙඳ ගිවිසුම් සාකච්ඡා කරයි

ඉන්දියාව මේ වන විට ශ්‍රී ලංකාව ඇතුළු රටවල් හා කලාපීය කණ්ඩායම් කිහිපයක් සමග නිදහස් වෙ⁣ළෙඳ ගිවිසුම් සාකච්ඡා කරමින් සිටින බව එරට වානිජ අමාත්‍යාංශය පවසනවා.

අමාත්‍යාංශයට අනුව මෙම සාකච්ඡා පැවැත්වෙන්නේ ගෝලීය වෙළඳ හවුල්කාරීත්වයන් ශක්තිමත් කිරීම සහ අපනයන අවස්ථා පුළුල් කිරීම සඳහා වන උපාය මාර්ගයේ කොටසක් ලෙසයි.

නිදහස් වෙළඳ ගිවිසුම් පිළිබඳ ඕස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, පේරු, චිලී, ඊශ්‍රායලය සහ යුරේසියානු ආර්ථික සංගමය (EAEU) සමඟ සාකච්ඡා සිදුවෙමින් පවතින බව ඉන්දීය වානිජ අමාත්‍යාංශය පවසනවා.
අමාත්‍යාංශය පැවසුවේ එය සංවර්ධිත සහ නැගී එන වෙළඳපොළවල් සමඟ ආර්ථික කටයුතු පුලුල් කිරීමේ ඉන්දියාවේ අඛණ්ඩ උත්සාහය පිළිබිඹු කරන බවයි.

මෙම වෙළඳ සාකච්ඡා මගින් වෙළඳපල ප්‍රවේශය වැඩි දියුණු කිරීම, තීරුබදු අඩු කිරීම සහ වැඩි ආයෝජන සහ තාක්ෂණ හුවමාරුවකට පහසුකම් සැලසීම අරමුණු කරනවා.

සාකච්ඡා අතර ඉන්දියා – ශ්‍රී ලංකා ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුම හෙවත් ETCA ගිවිසුම ප්‍රධාන බව වානිජ අමාත්‍යාංශය උපුටා දක්වන දූර්දර්ශන් වාර්තාවේ සඳහන්.

ඒ සම්බන්ධයෙන් සාකච්ඡා 2015 දී ආරම්භ වී වට 14ක් සම්පූර්ණ කර ඇති අතර අවසන් සාකච්ඡාව 2024 ජූලි මාසයේදී පැවැත්වුණා.

පසුගිය ජනවාරි මාසයේ කොළඹ දී ජනමාධ්‍යවේදීන් පිරිසක් හමු වු අවස්ථාවේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් සක්තෝෂ් ජා මහතා පැවසුවේ ඉන්දියාව සමග පවතින නිදහස් වෙළඳ ගිවිසුම යාවත්කාලීන කරනවාද නැතිනම් ආර්ථික හා තාක්ෂණ සහයෝගිතා ගිවිසුමක් අනුගමනය කරනවාද යන්න පිළිබඳව ශ්‍රී ලංකාවේ තීරණය ලැබෙන තුරු බලා සිටින බවයි.

වසර 25 කට වැඩි කාලයක් තිස්සේ ක්‍රියාත්මක වන පවතින නිදහස් වෙළෙඳ ගිවිසුම, ශ්‍රී ලංකාවට මැනිය හැකි ප්‍රතිලාභ ලබා දී ඇති බව ඔහු අවධාරණය කළා.

Share

Latest Post