හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන එක් නෞකාවකින් අමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් අය කිරීමට ඉරානය තීරණය කර තිබෙනවා

පවතින යුද්ධයට යන පිරිවැය දැරීම මුල්කරගෙන හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කරන එක් නෞකාවකින් අමෙරිකානු ඩොලර් මිලියන දෙකක මුදලක් අය කිරීමට ඉරානය තීරණය කර තිබෙනවා.
එම තීරණය පැමිණෙන්නේ පැය 48ක් ඇතුළත හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘත නොකළහොත් ඉරානයේ බලාගාර මුලුමනින්ම විනාශ කර දමන බවට එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවා ඇති පසුබිමකයි.
මේ අතර ඊශ්‍රායලයේ ඩිමෝනා ප්‍රදේශයට එල්ල වූ මිසයිල ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානයේ ඉස්ෆාහන් හි පිහිටි ප්‍රධාන ගුවන් හමුදා කඳවුරක් ඉලක්ක කර ගනිමින් අද දහවල් ඊශ්‍රායලය ගුවන් ප්‍රහාර එල්ල කළා.

ඉරානයේ පිහිටි ප්‍රධානතම න්‍යෂ්ටික මධ්‍යස්ථානයක් වන නටාන්ස් වෙත යළි ප්‍රහාර එල්ල වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඉරාන පරමාණුක බලශක්ති සංවිධානය ප්‍රකාශ කළේ, මෙය න්‍යෂ්ටික අවි ව්‍යාප්තිය වැළැක්වීමේ ගිවිසුම සහ න්‍යෂ්ටික ආරක්ෂාව පිළිබඳ ජාත්‍යන්තර රෙගුලාසි බරපතල ලෙස උල්ලංඝනය කිරීමක් බවයි.
මේ අතර ඉරානයේ ටෙහෙරාන් නුවර පිහිටි ඉන්ධන ගබඩා සංකීර්ණයක් ඉලක්ක කර ඊශ්‍රායලය එල්ල කළ ගුවන් ප්‍රහාරයක් හේතුවෙන් මිලියන සංඛ්‍යාත සිවිල් වැසියන් දැඩි පාරිසරික ව්‍යසනයකට මුහුණ දී සිටින බව වාර්තා වෙනවා.
තෙල් ගබඩා ගිනි ගැනීමෙන් නැගුණු විෂ සහිත දුමාරය වායුගෝලයට එක්වීම නිසා ටෙහෙරාන් නගරය පුරා “කළු පැහැති අම්ල වැසි” ඇද හැලෙමින් පවතින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කළා.

වීඩියෝවල දැක්වුණේ නගරයම අඳුරු අළු පැහැයෙන් වැසී ගොස් ඇති අයුරුයි.
පවතින තත්ත්වය තුළ ටෙහෙරාන් වැසියන්ට නිවෙස් තුළටම වී සිටින ලෙස උපදෙස් දී ඇති ඉරාන සෞඛ්‍ය අංශ, පිටතට පැමිණෙන්නේ නම් විශේෂිත මුඛ ආවරණ සහ ආරක්ෂිත ඇඳුම් භාවිතා කරන ලෙසත් උපදෙස් දී තිබෙනවා.

Share

Latest Post