ඉරානයට එරෙහිව අඛණ්ඩ යුද්ධය

අමෙරිකානු ඊශ්‍රායල් යුද කඳවුර, ඉරාන පාලනයේ ඉහළම ස්ථරයට එල්ල කරන ප්‍රහාර තවත් උත්සන්න කරමින්, ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රකාශක අලි මොහොමඩ් නයිනි, ඝාතනය කර තිබෙනවා.
ඉරාන නව අවුරුදු උදාව සිදුවෙද්දී සහ මැද පෙරදිග පුරා මිලියන සංඛ්‍යාත මුස්ලිම්වරු ඊද් අල්-ෆිතර් සැමරුමට බලා සිටිද්දී ඉරානයට එල්ල වූ මෙම ගුවන් ප්‍රහාර අතරතුර ඉරානය ඊශ්‍රායලයේ හයිෆා හි පිහිටි තෙල් පිරිපහදු සහ ඛනිජ රසායනික සංකීරණයකට ප්‍රහාර එල්ල කර තිබුණා.

ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායේ ප්‍රකාශක අලි මොහොමඩ් නයිනි අද ඊශ්‍රායල් ගුවන් ප්‍රහාරයකින් මියයන්නේ, ඉරාන හිටපු ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි ඝාතනය වීමෙන් පසු, යුද්ධයේ ඉරාන පාර්ශ්වයේ නියෝජනය කළ සෘජු ප්‍රකාශකයා ලෙස ඉස්මතු වෙමින් සිටියදීයි.
ඉරානය සතුව තිබූ මිසයිල අවසන් බවට ඊශ්‍රායල හමුදා කළ ප්‍රකාශයකට ප්‍රතිචාර දක්වමින් ඉරානය යුද තත්වයන් තුළ පවා මිසයිල නිෂ්පාදනය කරන බවත්, සතුරා සම්පූර්ණයෙන්ම වෙහෙසට පත්වන තුරු යුද්ධය දිගටම පවතිනු ඇතැයි ඉරාන ජනතාව අපේක්ෂා කරන බවත් ජෙනරාල් අලි මොහොමඩ් නයිනි ඊයේ සඳහන් කර තිබුණා.
මෙම යුද්ධය අවසන් වනු ඇත්තේ යුද්ධයේ සෙවනැල්ල ද රටින් ඉවත් කළ විට පමණක් බවයි ඔහු ඊයේ අවධාරණය කර සිටියේ.
මේ අතර ඊශ්‍රායලය ඊයේ ඉරානයේ දකුණු පාර්ස්හි පිහිටි ගෑස් නිෂ්පාදන කලාපයට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිචාර වශයෙන් ඉරානය ඇරඹූ ප්‍රතිප්‍රහාර මාලාවේ දිගුවක් ලෙස අද කුවේටයේ මිනා අල්-අහ්මඩි තෙල් පිරිපහදුවට ද ප්‍රහාරයක් එල්ල කර තිබුණා.
මේ අතර කටාර් හි රාස් ලෆාන් ගෑස් නිෂ්පාදන සංකීරණයට ඊයේ එල්ල වූ ඉරාන ප්‍රහාරය හේතුවෙන් කටාර්හි ද්‍රව ස්වාභාවික ගෑස් නිෂ්පාදන ධාරිතාව සියයට 17 කින් කපා දැමීමට සිදුව ඇති බවත් එමඟින් යුරෝපයට සහ ආසියාවට එල්. එන්. ජී සැපයුම් අඩාල වනු ඇති බවත් එම සමාගම නිවේදනය කර තිබුණා.
මේ අතර ඉකුත් පෙබරවාරි 28 වැනිදා ඉරානයට ගුවන් ප්‍රහාර එල්ල කරමින් අමෙරිකාව සහ ඊශ්‍රායලය ඇරඹූ යුද්ධයෙන් ඉරානයේ සිදුවූ සමස්ත මරණ සංඛ්‍යාව 1,444 ඉක්මවා ඇති බව ඉරානයේ රතු අඩසඳ සංවිධානය වාර්තා කරනවා.
මෙලෙස මියගිය අය අතර අවම වශයෙන් ළමුන් 204දෙනෙකු ද වූ බවයි එම වාර්තා වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.
ඒ් සමගම ලෙබනනයට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ පුද්ගලයින් 1,000 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ද එම වාර්තා පෙනවා දෙනවා.
මේ අතර ඊශ්‍රායලයේ ගලවා ගැනීමේ සේවා බලධාරීන් පවසන්නේ යුද්ධය ආරම්භයේ සිට ඊශ්‍රායලයට එල්ල වූ ඉරාන මිසයිල ප්‍රහාර හේතුවෙන් ඊශ්‍රායල් සිවිල් වැසියන් 15 දෙනෙකු මිය ගොස් ඇති බවයි.
මේ අතර අමෙරිකාව ඉරානයට එරෙහිව බ්‍රිතාන්‍ය හමුදා කඳවුරු භාවිතා කිරීම ආක්‍රමණයට එක්සත් රාජධානිය ද හවුල් කරගැනීමක් බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසනවා.
බ්‍රිතාන්‍ය කඳවුරු භාවිතා කිරීමට අමෙරිකාවට ඉඩ දීම ඉස්ලාමීය ජනරජයට එරෙහි “ආක්‍රමණයට සහභාගී වීමක්” ලෙස සලකනු ලබන බවයි ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සිය බ්‍රිතාන්‍ය සහචරයා වන යෙවෙට් කූපර්ට දුරකථන ඇමතුමක් ඔස්සේ දැනුම් දී ඇත්තේ.
“මෙය නිසැකවම ආක්‍රමණයට සහභාගී වීමක් ලෙස සලකනු ලබන අතර දෙරට අතර සබඳතා ඉතිහාසයේ එය සටහන් ව තැබෙනු ඇත” නිවේදනයක් නිකුත් කරමින් ඉරාන විදේශ අමාත්‍යාංශය සඳහන් කර තිබුණා.
ඒ් සමගම ඉරානයේ දකුණු පාර්ස් ගෑස් නිධිවලට ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර හෙළා දැකීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් අරග්චි එක්සත් රාජධානිය විවේචනය කර ඇති බව ද ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර, පසුගිය දා සිය ධුරයෙන් ඉල්ලා අස්වූ අමෙරිකානු ජාතික ත්‍රස්ත විරෝධී මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජෝ කෙන්ට් ඊයේ ටකර් කාල්සන් සමඟ සමුමුඛ සාකච්ඡාවකට එක්වෙමින් නව හෙළිදරව්වක් කර තිබුණා .
ඔහු සඳහන් කර තිබුණේ පසුගිය සැප්තැම්බර් මාසයේදී එක්සත් ජනපදයේදී ඝාතනයට ලක්වූ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ සමීප උපදේශකයෙකු වූ චාලි කර්ක්ගේ මරණය සම්බන්ධයෙන් සිදුකල වැඩිදුර විමර්ශන වලට ඉහළන් බාධා එල්ල වූ බවයි.
අමෙරිකාව ඉරානය සමඟ යුද්ධයකට යාම සම්බන්ධයෙන් චාලි කර්ක් දැඩි ලෙස අකමැති වූ බවත් ඔහුගේ මරණයට විදේශීය මූලාශ්‍ර සමඟ සම්බන්ධයක් ඇති බවට තමා අනුමාන කළ බවත් ඔහු වැඩිදුරටත් කියා සිටියා.
අමෙරිකානු ජනාධිපතිවරයා මෙම යුද්ධයට ඇදගෙන යනු ලබන්නේ ඊශ්‍රායල්ය විසින් බවට සිය ඉල්ලා අස්වීමේදී ඇඟවුම් කළ ජෝ කෙන්ට්, මෙම සාකච්ඡාවේදී යළි යළිත් අවධාරණය කළේ ඉරානය අමෙරිකාවට කිසිදු ආසන්න තර්ජනයක් එල්ල නොකළ අතර, ඊශ්‍රායලයේ සහ ඔවුන්ගේ බලවත් ඇමරිකානු ලොබියේ පීඩනය හේතුවෙන් අමෙරිකාවට මෙම යුද්ධයට එක් වීමට සිදුවූ බවයි

Share