හෝර්ටන්තැන්න ජාතික වනෝද්‍යානයේ ලෝකාන්තය නැරඹීමට පැමිණි කොළඹ විශ්වවිද්‍යාල වෛද්‍ය පීඨ සිසුවියක් ලෝකාන්ත බෑවුම ආසන්නයේ සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට යාමේදී අඩි 50ක පමණ ප්‍රපාතයකට ඇද වැටී තිබෙනවා.
කෙසේ වෙතත් ඇය ප්‍රපාතයට ඇද වැටෙන අවස්ථාවේදී ගසක අත්තක පැටලී තිබීම නිසා දිවි බේරා ගැනීමට ඇයට හැකියාව ලැබී තිබෙනවා.
පසුව ආරක්ෂක අංශ සහ වනජීවී නිලධාරීන් එක්ව සිදුකළ ඒකාබද්ධ මෙහෙයුමකින් මෙම සිසුවිය නිරුපද්‍රිතව බේරා ගැණුනා.
කොළඹ විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසු සිසුවියන් පිරිසක් ලෝකාන්තය නැරඹීම සඳහා පැමිණ ඇත්තේ ඊයේ පෙරවරු 9ට පමණ.
එහිදී 23 හැවිරිදි මෙම සිසුවිය ලෝකාන්ත බෑවුම ආසන්නයේ සිට සෙල්ෆි ඡායාරූපයක් ගැනීමට උත්සාහ දරා ඇති බවයි පැවසෙන්නේ.
එම අවස්ථාවේදී ඇයගේ පය ලිස්සා ප්‍රපාතයට ඇද වැටී ඇති අතර ගසක අත්තක පැටලීම හේතුවෙන් ඇයගේ දිවි බේරී තිබෙනවා.
පසුව හෝර්ටන්තැන්න ජාතික වන උද්‍යානයේ රියදුරෙකු වහා ක්‍රියාත්මක වී සිය ජීවිත අවදානම පවා නොතකා බෑවුම පහළට බැස සිසුවියව එල්ලී සිටි අත්තෙන් ආරක්ෂිතව මුදාගෙන බෑවුමේ තිබූ ස්ථාවර ගලක් මත වාඩි කරවා ගැනීමට සමත් වී තිබුණා.
පසුව පට්ටිපොළ පොලිසිය, නුවරඑළිය 3 වන සිංහ රෙජිමේන්තුවේ කමාන්ඩෝ භටයින් සහ නුවරඑළිය පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් සමඟ එක් වී වනජීවී නිලධාරීන්ගේද ආධාරය ඇතිව පැය ගණනාවක දැඩි පරිශ්‍රමයකින් පසු සිසුවිය ආරක්ෂිතව ඉහළට ගෙන ඒමට සමත් වී තිබුණා.
අනතුරුව සිසුවිය නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන ඇති අතර රෝහල් ආරංචි මාර්ග පවසන්නේ සිසුවියගේ තත්ත්වය බරපතළ නොවන බවයි.




