අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගෙන, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා තබා ගැනීමෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.
හිටපු ශිෂ්‍ය නායකයා ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට පොලීසිය නගන ලද චෝදනා සනාථ කිරීමට ප්‍රමාණවත් සහ නිශ්චිත සාක්ෂි අධිකරණයට ඉදිරිපත් කිරීමට පොලිසිය අපොහොසත් වී ඇතැයි, තීන්දුව ප්‍රකාශයට පත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ආචාර්ය සෝභිත රාජකරුණා අද සඳහන් කළා.
අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ 2022 වසරේ අගෝස්තු 18 වැනිදා පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවේ කොළඹ ලිප්ටන් වටරවුම අසල පැවති විරෝධතාවක් අතරතුර දී.
එවක ආරක්ෂක අමාත්‍ය හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නියෝග මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ දින 89ක් රඳවා තබාගැනීමෙන් අනතුරුව 2023 ජනවාරි 31 වැනිදා ඔහු නිදහස් කරනු ලැබුවා.
මෙලෙස අත්අඩංගුවට ගැනීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ ඔහු රඳවා තබා ගැනීම නීති විරෝධී බව පවසමින් වසන්ත මුදලිගේ වෙනුවෙන් නීතිඥ මංජුල බාලසූරිය විසින් මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබුවා.
පොලිස්පතිවරයා, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා, ත්‍රස්ත විමර්ශන ඒ්කකයේ අධ්‍යක්ෂවරයා ඇතුළු පිරිසක් වලඋත්තරකරුවන් ලෙස නම් කරමින් ගොනුකර තිබූ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ආචාර්ය සෝභිත රාජකරුණා, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගැණුනා.
මෙම නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින්, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ආචාර්ය සෝභිත රාජකරුණා පෙන්වා දුන්නේ වසන්ත මුදලිගේ අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය තරම් “සාධාරණ සැකයක්” තිබූ බව ඔප්පු කිරීමට වගඋත්තරකරුවන් අපොහොසත් වී ඇති බවයි.
අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහුට එරෙහිව විවෘත වරෙන්තු දෙකක් තිබූ බව පොලිසිය ප්‍රකාශ කළ ද, එම වරෙන්තු මාස කිහිපයක් තිස්සේ ක්‍රියාත්මක නොකර තිබී හදිසියේම ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත වැනි දැඩි නීතියක් යටතේ ඔහුව අත්අඩංගුවට ගැනීම යුක්ති සහගත නොවන බව ද අධිකරණය, අවධාරණය කළා.
එසේම පෙත්සම්කාර වසන්ත මුදලිගේ ත්‍රස්තවාදී ක්‍රියාවලට සම්බන්ධ බවට කරන ලද චෝදනා සනාථ කිරීමට ප්‍රමාණවත් සහ නිශ්චිත සාක්ෂි ඉදිරිපත් කිරීමට පොලිසිය අපොහොසත් වී ඇති බව ද නඩු තීන්දුවේ සඳහන්.
ඒ අනුව, මෙම අත්තනෝමතික අත්අඩංගුවට ගැනීම මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 (1) වගන්තියෙන් නියම කර ඇති නීතිය පසිඳලීම සහ ක්‍රියාත්මක කිරීම ද, නීතියේ රැකවරණය ද, සර්ව සාධාරණ විය යුතුය යන්න හා 13 (1) වගන්තියෙන් නියම කර ඇති නීතියෙන් නියම කරනු ලැබූ කාර්ය පටිපාටියට අනුකූලව මිස කිසිම තැනැත්තකු සිරභාරයට ගැනීම නොකළ යුතුය යන මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවටයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළේ .
මෙම අනීතික අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් එවකට පෑලියගොඩ පොලිසියේ කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ජි.ඒ.කේ. ගමගේ ගමගේ නැමති පෙත්සමේ 8 වන වගඋත්තරකරු වගකිව යුතු බවට ද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තීන්දු කරනු ලැබුවා.





