පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ වුවද, ශ්‍රී ලංකාවට ස්ථාවර ලෙස ඉන්ධන සැපයීම අඛණ්ඩව පවත්වාගෙන යාමට කටාර් රාජ්‍යය කැපවී සිටින බව කටාර් රාජ්‍යයේ එමීර්වරයා මෙරට ජනාධිපති අනුර කුමාර දිසානායක මහාතාට පවසා තිබෙනවා.
මීට අමතරව කටාර්හි වෙසෙන ශ්‍රී ලාංකික ශ්‍රමිකයන්ගේ සහ පදිංචිකරුවන්ගේ සුභසාධනය හා ආරක්ෂාව සම්බන්ධයෙන්ද ඔහු සහතික වී ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්ථා කරන්නේ.
මැද පෙරදිග පවතින යුද ගැටුම් මධ්‍යයේ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ කටාර් රාජ්‍යයේ එමීර් හෙයික් තමිම් බින් හමාඩ් අල්-තානි අතර විශේෂ දුරකථන සංවාදයක් පවත්වා ඇති බව කටාර් නිව්ස් ඒජන්සිය සඳහන් කරනවා.
මෙහිදි පවතින අර්බුදකාරි වාතාවරණය හේතුවෙන් මතුව ඇති ගැටලු සම්බන්ධයෙන් දෙදෙනාම සාකච්ඡා කර ඇති බවයි වාර්තා වන්නේ.
මෙම සාකච්චාවේ දී කටාර් රාජ්‍යයේ ජීවත් වන ශ්‍රී ලාංකික ප්‍රජාවගේ යහපැවැත්ම පිළිබඳව මෙරට ජනාධිපතිවරයාට කටාර් එමීර්වරයා සහතික කර ඇති අතර, කටාර් භූමියේ ජීවත් වන සියලු දෙනාගේ ආරක්ෂාව සහ සුභසාධනය සඳහා රජයේ කැපවීම ද මෙහිදි අවධාරණය කර තිබෙනවා
නායකයින් දෙදෙනා පුළුල් කලාපීය අභියෝග පිළිබඳව ද සාකච්ඡා කර ඇති අතර, මෙම ගැටළු විසඳීම සඳහා ජාත්‍යන්තර සම්බන්ධීකරණයේ වැදගත්කම ද ජනාධිපතිවරයා මෙහිදි අවධාරණය කර තිබෙනවා.
එමෙන්ම වත්මන් අභියෝග මධ්‍යයේ වුවද ස්ථාවර බලශක්ති සැපයුම් පවත්වා ගැනීම වෙනුවෙන් විශ්වාසදායක බලශක්ති හවුල්කරුවෙකු ලෙස කටාර්හි කාර්යභාරය හා කැපවීම මෙහිදි එමීර්වරයා අවධාරණය කළබවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් පවසා ඇත්තේ.
මේ අතර ඉරාන යුද්ධයේ බලපෑම මේ වන විට මෙරට ආර්ථිකයටද දැඩි ලෙස එල්ල වෙමින් පවතින අතර, එහි වැඩිම බලපෑමට ලක්ව ඇත්තේ මෙරට සංචාරක ක්ෂේත්‍රයයි.
වෙනදා සංචරකයින්ගෙන් පිරි ඉතිරි යන ප්‍රදේශ රැසක් මේ වන විට පාලු ස්භාවයක් ගෙන ඇත්තේ මැදපෙරදිග යුද ගැටුම් හමුවේ මෙරටට පැමිණිමට ගුවන් යානා පහසුකම් සීමා වීමේ ගැටලු මතයි.
මෙරට දෙස් විදෙස් ආකර්ෂණය ලද හපුතලේ සංචාරක පුරවරයට ද පැමිනෙන විදෙස් සංචාරකයන් මේ වන විට විශාල ලෙස අඩුවෙමින් පවතින බවට තොරතුරු වාර්ථා වනවා.
මැද පෙරදිග යුද ගැටුම් උත්සන්න වීමට පෙර, අඹේවෙල සිට බදුල්ල දක්වා ධාවනය වන දුම්රිය මගින් මීට පෙර විශාල වශයෙන් විදෙස් සංචාරකයන් හපුතලේට පැමිනි අතර මේ වන විට එම පිරිසේ විශාල අඩුවක් දක්නට ඇති බවයි සංචාරක මග පෙන්වනන් පවසන්නේ.
මේ හේතුවෙන් මෙවර සංචාරක සමයේ දී තමන් අසරණ වන බව හෝටල් හිමියන්, සංචාරක රියදුරන් මෙන්ම සංචාරක මඟපෙන්වන්නන් ද පවසනවා.




