වාහනයේ අග අංකය අනුව ඉන්ධන නිකුත් කිරිම ඇරඹෙයි

QR කේතය හඳුන්වා දීමෙන් පසුවත් ඉන්ධන පිරවුම්හල් අසල ඇති වූ දිගු පෝළිම් පාලනය කිරීම සඳහා වාහන අංක තහඩුවේ අවසන් අංකය මත පදනම්ව ඉන්ධන ලබාදිම අද සිට ආරම්භ කෙරුණා.
ඒ අනුව ඔත්තේ සහ ඉරට්ටේ අංක මත පදනම්වයි අද සිට ඉන්ධන සැපයීම සිදු කෙරෙන්නේ.
මේ අතර ඉන්ධන බෙදා දීමේ නව ක්‍රමවේදය ක්‍රියාත්මක කිරීමත් සමග දිවයිනේ බොහෝ ප්‍රදේශවල ඉන්දන පිරවුම්හල් අසල පෝලිම් වල අඩුවක් දක්නට ලැබුනා

මේ දිනවල උත්සන්න වී තිබෙන මැදපෙරදිග යුදමය වාතාවරණය සමඟ ලෝක තෙල් සැපයුමට බාධා එල්ල වී තිබෙනවා.
ඒ සමගම මෙරට ඉන්ධන හල් ඉදිරිපිට පෙළ ගැසී සිය මෝටර් වලට ඉන්ධන ලබා ගැනීමට පෙළැඹීම හමුවේ රට තුළ යම් ඉන්ධන අර්බුදයක් මතුවී තිබෙනවා.
ඒ හේතුවෙන් සංචිත නිසි කළමනාකරණයකින් භාවිත කිරිීමට රජය විසින් එක් එක් වාහන වර්ගය සඳහා ඉන්ධන කෝටාවක් හඳුන්වා දෙනු ලැබුවා.
පසුගිය ඉරිදා සිට ඉන්ධන ලබා ගැනිම සඳහා QR කේතය අනිවාර්ය කෙරුණු නමුත් පිරවුම්හල් අසල පවතින පෝලිම්වල සැලකිය යුතු අඩුවක් තිබුනේ නැහැ.
මෙවන් පසුබිමකයි ඉන්ධන පිරවුම්හල් අසල පෝලිම අවසන් කර ගැනීමේ උත්සාහයක් ලෙස වාහන අංක තහඩුවේ අවසාන අංකයට අනුව අද සිට ඉන්ධන නිකුත් කිරීමට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාව තීරණය කළේ.
ඒ අනුව අද ඔත්තේ දිනයක් වන අතර වාහන අංක තහඩුවේ අවසාන අංකය ඔත්තේ සංඛ්‍යාවන් වන 1, 3, 5, 7, 9 යන ඉලක්කම් ඇති වාහන සඳහා ඉන්ධන ලබාගැනීමේ හැකියාව පවතිනවා.
කෙසේ නමුත් ඊයේ වන තෙක් ඉන්දන පිරවුම්හල් අතර තිබුනු දිගු පෝලිම් අද පෙරවරුව වන විට ඊයේ දිනට සාපේක්ෂව යම් අඩුවක් දක්නට ලැබුනා.

මේ අතර QR ක්‍රමවේදය යටතේ මේ දක්වාත් ඉන්ධන කෝටාව ලබාගෙන නොමැති පුද්ගලයින් හට පමනක් අද දිනයේදී ඔත්තේ, ඉරට්ටේ ක්‍රමයෙන් බැහැරව ඉන්ධන ලබාගැනීම සඳහා අවස්ථාව ලබා දී ඇති බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා පවසනවා
මේ අතර වාහනයේ අනන්‍යතාව නිවැරදිව තහවුරු කරගැනීම සඳහා අවශ්‍ය අවස්ථාවේදී වාහන ආදායම් බලපත්‍රය, වාහනයේ ලියාපදිංචි සහතිකය, රක්ෂණ සහතිකය හෝ දුම් පරීක්ෂණ සහතිකය යන ලේඛනවලින් එකක් ඉදිරිපත් කරන ලෙස මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා
ප්‍රසම්පාදන කටයුතු හේතුවෙන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පසුගිය කාලය තුළ වාහන අංක තහඩු නිකුත් නොකළ අතර මේ හේතුවෙන් ඇතැම් වාහන හිමියන් විවිධාකාර අංක තහඩු භාවිත කිරීමට පෙළඹී ඇති බැවින් මෙම පියවර ගත් බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

මේ අතර නියමිත උපදෙස්වලට පරිබාහිරව කටයුතු කරන ඉන්ධන හල්හිමියන් පිළිබඳ තොරතුරු දැනුම්දීම සඳහා විශේෂ දුරකතන අංක දෙකක් ද හඳුන්වා දී තිබෙනවා
ඒ අනුව 0112 106 767 , 0117 296 130 යන දුරකථන අංක ඔස්සේ නීතිවිරෝධී ඉන්ධන නිකුත් කිරීම්වලට අදාළ තොරතුරු ඉදිරිපත් කළ හැකි බවයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ
ඉන්ධන නිකුත් කිරීමේ දී නියමිත උපදෙස්වලට පරිබාහිරව කටයුතු කරන ඉන්ධන හල්හිමියන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සඳහන් කළා.

මේ අතර, ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචි වීමට සහය අවශ්‍ය රථවාහන හිමියන් වෙනුවෙන් විශේෂ වට්ස්ඇප් සේවාවක් හඳුන්වාදීමටත් ඩිජිටල් ආර්ථික අමාත්‍යංශය කටයුතු කර තිබෙනවා.
ඒ අනුව ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචියේදී ගැටලු පවතින පුද්ගලයින්ට 076 000 1919 යන වට්ස්ඇප් අංකය වෙත වාහනයේ අංකය ටයිප් කර යොමු කළ හැකියි.
මෙම අවස්ථාව වාහනයේ ලියාපදිංචි හිමිකරුට පමණක් හිමිවනවා.
ජාතික හැඳුනුම්පත, රියදුරු බලපත්‍රය හෝ විදේශ ගමන් බලපත්‍රය සමග වලංගු ආදායම් බලපත්‍රය සහ වාහන ලියාපදිංචි සහතිකය අදාළ වට්ස්ඇප් අංකය වෙත යොමු කිරීමෙන් ජාතික ඉන්ධන බලපත්‍රය සඳහා ලියාපදිංචියට සහය හිමිවන බවයි ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසන්නේ.

මේ අතර වෙනත් ජංගම දුරකථන අංකයක් සඳහා කලින් ලියාපදිංචි කළ වාහනවල ඉන්ධන QR කේත නැවත ලබාගැනීම සඳහා අද සිට නව ක්‍රමවේදයක් හඳුන්වාදී තිබෙනවා
ඒ අනුව මීට පෙර (2026 මාර්තු 14ට පෙර) වාහනවල ඉන්ධන QR කේත සඳහා ලියාපදිංචි කරන ලද වාහනයක QR කේතය නැවතත් ලබාගැනීමේදී, එම ලියාපදිංචිය සිදුකළ ජංගම දුරකථන අංකය භාවිතයේ නොමැති වීම හෝ වෙනත් අයෙකු සතුවීම හේතුවෙන් මහජනතාව මුහුණ දුන් අපහසුතා මඟහරවා ගැනීම සඳහායි අද සිට මෙම නව විශේෂාංගය පද්ධතියට එක් කර ඇත්තේ

මේ අතර ඊයේ දිවයිනට පැමිණි ඉන්ධන නෞකාවෙන් ඉන්ධන ගොඩබෑම ආරම්භ කර ඇති අතර ඒ අනුව අද උදෑසන වන විට දිවයින පුරා ඉන්ධන බෙදා හැරීම ආරම්භ කෙරුණ. මීට අමතරව ඊයේ පෙරවරුවේ පෙට්‍රෝලියම් ගෑස් (LPG) රැගත් නෞකා දෙකක් උස්වැටකෙයියාව, තල්දියවත්ත මුහුදු තීරයේ පිහිටි ගෑස් ගොඩබාන බෝයාව වෙත ළඟා වුණා
ඒ අනුව මේ වන විට මුදුරාජවෙල ලිට්රෝ ගෑස් පරයන්තයෙන් ගෑස් බෙදා හැරීම ද කෙරෙමින් පවතිනවා.

Share