ඉරානයට අයත් දකුණු පාර්ස් ස්වභාවික වායු නිධියට ඊශ්‍රායල විසින් ප්‍රහාර මාලාවක් එල්ල කර තිබෙනවා.
ඊට ප්‍රතිචාර වශයෙන් ඉරානය කටාර් රාජ්‍යයේ ප්‍රධාන ගෑස් මධ්‍යස්ථානය වන රාස් ලැෆාන් කාර්මික නගරයට මිසයිල ප්‍රහාර එල්ල කළ අතර ඉන් දැඩි අලාභ හානි සිදු වී තිබෙනවා.
මෙම ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් කටාර්හි ඉරාන තානාපති කාර්යාලයේ සිටින ආරක්ෂක සහ හමුදා උපදේශකවරුන්ට මෙන්ම ඔවුන් යටතේ සේවය කරන නිලධාරීන්ට ද පැය 24ක් ඇතුළත රටින් පිටවන ලෙසට කටාර් රාජ්‍යය නියෝග කර ඇති බවයි වාර්තා වන්නේ
ලොව විශාලතම ස්වභාවික වායු නිධිය ලෙස සැලකෙන දකුණු පාර්ස් නිධියට ඊශ්‍රායල ගුවන් හමුදාව ඊයේ ප්‍රහාරය එල්ල කළ බව විදේශ මාධ්‍ය වාර්තා කළා.
එල්ල වූ ප්‍රහාරයෙන් මධ්‍යස්ථාන කිහිපයකට හානි සිදුව ඇති නමුත් ජීවිත හානි වාර්තා වී නොමැති බවයි ඉරාන තෙල් අමාත්‍යාංශය සදහන් කලේ
ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බළකායට අනුබද්ධ ප්‍රවෘත්ති ඒජන්සිය අදාළ ප්‍රහාරය තහවුරු කරමින් පවසා ඇත්තේ, ප්‍රහාරයත් සමග එම ප්‍රදේශය ගිනිගැනීමකට ලක්ව ඇති බවයි.
පර්සියානු බොක්කෙහි පිහිටා ඇති මෙම කලාපයේ ලොව විශාලතම ස්වාභාවික ගෑස් නිධිය පිහිටා ඇති අතර, එය කටාර් සහ ඉරානය ඒකාබද්ධව පාලනය කරනු ලබයි.
මෙහි සමස්ත භූමි ප්‍රදේශය වර්ග කිලෝමීටර් 9,700 ක් වන අතර, ඉන් South Pars ප්‍රදේශයට අයත් වර්ග කිලෝමීටර් 3,700 ක ප්‍රමාණය ඉරානයට අයත්.
කටාරය වර්ග කිලෝමීටර් 6,000 ක් පුරා සිය මෙහෙයුම් කටයුතු සිදුකරනු ලබනවා.
කටාර් රාජ්‍යයේ ආදායමෙන් 80%ක් උපයන්නේ මෙම ගෑස් අපනයනයෙන් වන අතර, මෙම වසර මුලදී පමණක් ඔවුන් මෙම ප්‍රදේශයෙන් දිනකට ඝන අඩි බිලියන 18.5ක පමණ ගෑස් නිෂ්පාදනය කර තිබෙනවා
එමෙන්ම ඉරානයද දෛනිකව ඝන අඩි බිලියන 2ක ගෑස් නිපදවනවා.
කෙසේ වෙතත් ඉරානයට අයත් දකුණු පාර්ස් ස්වභාවික වායු නිධියට එල්ල වූ ඊශ්‍රායල ප්‍රහාරයට ප්‍රතිප්‍රහාරයක් ලෙස, පර්සියානු ගල්ෆ් කලාපයේ පිහිටි තෙල් සහ ගෑස් මධ්‍යස්ථාන වෙත ප්‍රහාර එල්ල කරන බවට ඉරානය මීට පෙර ප්‍රකාශ කර තිබුනා.
මේ අතර අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඉරාන ජනාධිපති මෂුඩ් පෙසෙෂ්කියන් ප්‍රකාශ කළේ අදාළ ප්‍රහාරය සම්බන්ධයෙන් අමෙරිකාව ප්‍රමුඛ මැද පෙරදිග රටවලට ප්‍රතිවිපාක විදීමට සිදුවනු ඇති බවයි.
ඉරානයේ තස්නිම් පුවත් ඒජන්සියට අනුව, ඉදිරි පැය කිහිපය තුළ සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කටාර් රාජ්‍යයේ පිහිටි බලශක්ති මධ්‍යස්ථාන 5ක් ඉලක්ක කරන බවයි ඉරාන බලධාරීන් පවසා ඇත්තේ.
ඒ අනුව සෞදි අරාබියේ SAMREF පිරිපහදුව සහ ජුබයිල් රසායනික සංකීර්ණය, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ අල් හොස්න් වායු නිධිය, කටාර් රාජ්‍යයේ රාස් ලෆාන් පිරිපහදුව සහ මෙසායීඩ් රසායනික සංකීර්ණය දැඩි අවදානම් තත්වයකට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
කෙසේ වෙතත් ඊශ්‍රායලය විසින් ඉරානයේ South Pars ගෑස් නිධියට එල්ල කළ ප්‍රහාරයට ප්‍රතිප්‍රහාර ලෙස ගල්ෆ් කලාපය පුරා ඇති තෙල් හා ගෑස් මධ්‍යස්ථානවලට පහර දෙන බවට ඉරානය තර්ජනාත්මක ප්‍රකාශක් සිදු කර පැය කිහිපයකට පසුව කටාර් රාජ්‍යයේ ප්‍රධාන ගෑස් මධ්‍යස්ථානය වන රාස් ලැෆාන් කාර්මික නගරයට ඉරානය මිසයිල ප්‍රහාර එල්ල කර තිබෙනවා.
මෙම ප්‍රහාර වලින් “දැඩි හානි” සිදුව ඇති බවයි කටාර් රාජ්‍යය ප්‍රකාශ කර ඇත්තේ.
“රාස් ලැෆාන් කාර්මික නගරය ඉලක්ක කර ගනිමින් ඉරානය එල්ල කළ මෙම දරුණු ප්‍රහාරය කටාර් රාජ්‍යය දැඩි ලෙස හෙළා දකිනවා. මෙහි ඇති වූ ගිනි ගැනීම් හේතුවෙන් මධ්‍යස්ථානයට විශාල හානියක් සිදුව තිබෙනවා,” යනුවෙන් කටාර් විදේශ කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශයක් නිකුත් කරමින් සදහන් කළා
මේ සම්බන්ධයෙන් කටාර් විදේශ අමාත්‍යාංශය ප්‍රකාශ කළේ, ඉරානය සිය වායු නිධියට එල්ල කල ප්‍රහාරය “භයානක සහ වගකීම් විරහිත පියවරක්” බවයි.
ප්‍රහාරයන්ට ප්‍රතිචාර වශයෙන් කටාර්හි ඉරාන තානාපති කාර්යාලයේ සිටින ආරක්ෂක සහ හමුදා උපදේශකවරුන්ට මෙන්ම ඔවුන් යටතේ සේවය කරන නිලධාරීන්ට පැය 24ක් ඇතුළත රටින් පිටවන ලෙස කටාර් රාජ්‍යය නියෝග කර ඇති බවත් අල් ජසීරා ප්‍රවෘත්ති එජන්සිය සදහන් කළා
මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා නාවික ගමනාගමනය යළි ආරම්භ කළ හැක්කේ සාකච්ඡා මාර්ගයෙන් පමණක් බවට රුසියාව විශ්වාස කරන බව එරට විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක මරියා සකාරෝවා ‘Maria Zakharova’ පවසනවා.
ලෝක වෙළෙඳාමට අතිශය වැදගත් වන මෙම මුහුදු මාර්ගයේ නාවික ගමනාගමන කටයුතු මේ වන විට සම්පූර්ණයෙන්ම අත්හිටුවා තිබෙනවා.
ඊට හේතු වී ඇත්තේ ඉරානය විසින් නෞකා වෙත එල්ල කරන තර්ජන සහ ප්‍රහාරයන්
රුසියාව අවධාරණය කරන්නේ පවතින උණුසුම්කාරී තත්ත්වය සමනය කර නාවික ගමනාගමනයට සුරක්ෂිත පරිසරයක් නිර්මාණය කර ගැනීමට නම් අදාළ පාර්ශවයන් අතර රාජ්‍ය තාන්ත්‍රික සාකච්ඡා අත්‍යවශ්‍ය වන බවයි.
සෞදි අරාබියේ අගනුවර පිහිටි තෙල් පිරිපහදු මධ්‍යස්ථාන දෙකකට එල්ල වූ ප්‍රහාරවලින් පසු, අවශ්‍ය වුවහොත් ඉරානයට එරෙහිව හමුදා ක්‍රියාමාර්ග ගැනීමට අයිතියක් ඇති බව සෞදි විදේශ අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරු අවධාරණය කරනවා.
රියාද් නුවර පැවැති විදේශ අමාත්‍යවරුන්ගේ හමුවකින් අනතුරුව මාධ්‍යවේදීන් ඇමතූ ඔහු පවසා ඇත්තේ, ඉරානය සිය වැරදි තක්සේරු කිරීම් පිළිබඳව නැවත සමාලෝචනය කළ යුතු බව හා මෙවැනි ප්‍රහාර මගින් ටෙහෙරානයට කිසිදු වාසියක් අත්නොවන බවයි.
එමෙන්ම ෆයිසාල් කුමරු වැඩිදුරටත් අවධාරණය කළේ, ඉරානය තම අසල්වැසි රටවල් සමඟ සාකච්ඡා කිරීම වෙනුවට අසල්වැසියන්ට බලපෑම් කිරීමට උත්සාහ කරන බවයි.
කෙසේ වෙතත්, මෙම ප්‍රවේශය කිසිසේත් සාර්ථක නොවන අතර එය දේශපාලනිකව මෙන්ම සදාචාරාත්මකවද ටෙහෙරානයටම අහිතකර ලෙස බලපානු ඇති බවයි ඔහු සදහන් කරන්නේ.
දෙපාර්ශවයම සිවිල් යටිතල පහසුකම් ඉලක්ක කරගනිමින් එල්ල කරන ප්‍රහාර තහනම් කළ යුතු බව ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්‍රෝන් ප්‍රකාශ කරනවා.
ඉරානයේ සහ කටාර්හි ගෑස් නිෂ්පාදන ප්‍රදේශවලට එල්ල වු ප්‍රහාරවලින් අනතුරුව ප්‍රංශ ජනාධිපතිවරයා සිය එක්ස් ගිනුමේ සටහනක් තබමින් මේ බව ප්‍රකාශ කර තිබුනා.
තමන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කටාර් එමීර්වරයා සමඟ ද මේ සම්බන්ධයෙන් සාකච්ඡා කළ බව ප්‍රංශ ජනාධිපති එමානුවල් මැක්‍රොන් ප්‍රකාශ කර තිබෙනවා.
මේ අතර ඉරාන ආරක්ෂක ප්‍රධානී අලි ලැරිජානි ඝාතනයට ලක්ව ඇති බව රජය තහවුරු කර පැය 24ක් ගතවීමට මත්තෙන්, ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තබා ඛමේනි විසින් විශේෂ ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා.
ලැරිජානිගේ අභාවය පිළිබඳ පුවත තමන් “දැඩි කනගාටුවෙන්” යුතුව පිළිගත් බවත් ඔහු ඉරාන දේශපාලන තන්ත්‍රය තුළ සිටි “බුද්ධිමත්, කැපවූ සහ විශිෂ්ට” චරිතයක් ලෙසත් උත්තරීතර නායකයා එහිදී හඳුන්වා දී තිබෙනවා.
මෙවැනි ප්‍රමුඛ පෙළේ පුද්ගලයෙකු ඝාතනය කිරීමෙන් පෙනී යන්නේ ඉස්ලාමයේ සතුරන් ඔහු කෙරෙහි දක්වන දැඩි වෛරය සහ ඔහුගේ වැදගත්කම බව ඛමේනි සඳහන් කර ඇති බව විදෙස් මාධ්‍ය සදහන් කළා
ඉස්ලාමීය පද්ධතිය නමැති වෘක්ෂයේ පාමුල මෙලෙස ලේ වැගිරීමෙන් එම පද්ධතිය තවදුරටත් ශක්තිමත් වන බව ඔහු අවධාරණය කර තිබෙනවා.
“සෑම ලේ බිඳුවකටම මිලක් පවතින බවත්, මෙම ප්‍රාණ පරිත්‍යාගීන් ඝාතනය කළ අපරාධකරුවන්ට නුදුරේදීම ඒ සඳහා වන්දි ගෙවීමට සිදුවනු ඇති…” යනුවෙන් ඔහු දැඩි ලෙස ප්‍රකාශ කර ඇති බව සඳහන්.





