‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව අද ජනාධිපති කාර්යාලයේදී

මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍යවලට සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම්වල ප්‍රමාණාත්මක වර්ධනය සාධනීය වුවකත්, අත්අඩංගුවට ගන්නා එම මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීම පිළිබඳ විශ්වාසය තහවුරු කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
ජනාධිපතිවරයා අදාළ අංශ වෙත උපදෙස් දුන්නේ ඒ සඳහා අදාළ නීති සංශෝධන කඩිනම් කරන ලෙසයි.

විෂ මත්ද්‍රව්‍ය ව්‍යසනය මුලිනුපුටා දැමීම සඳහා වූ ‘රටම එකට’ ජාතික මෙහෙයුම් සභාව අද පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී රැස් වුණා.
රට තුළ විවිධ අවස්ථාවන්හි සමාජ සහ ආර්ථික වශයෙන් විවිධ තත්ත්වයන් මතු වුවද එම කිසිදු අභියෝගයක් හමුවේ විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීම වෙනුවෙන් රජය ගෙන යන වැඩපිළිවෙළ අඩපණ නොවිය යුතු බව ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කර තිබෙනවා.
මත්ද්‍රව්‍ය හා මත්ද්‍රව්‍ය සම්බන්ධ වූවන් අත්අඩංගුවට ගැනීම් විශාල වශයෙන් වර්ධනය වී ඇති බව මෙහිදී අදාළ අංශ විසින් සංඛ්‍යා දත්ත මාර්ගයෙන් පෙන්වා දුන්නා.
වර්තමානයේ අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය සාම්පල පරීක්ෂා කර වාර්තා ලබා ගැනීමට ගතවන කාලය දීර්ඝ වීම හේතුවෙන් නඩු කටයුතු ප්‍රමාද වීම වැලැක්වීමට මත්ද්‍රව්‍ය වැරදි සඳහා වෙනම අධිකරණයක් පිහිටුවීම සම්බන්ධයෙන් සාකච්ඡාවට ලක් වුණා.
මත්ද්‍රව්‍ය අත්අඩංගුවට ගැනීම්වලට අදාළව ලැබෙන මාධ්‍ය ප්‍රචාරය එම මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීම සහ ඇබ්බැහිවූවන් පුනරුත්ථානය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් වෙනුවෙන්ද හිමි වීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරුණු බව ජනාධිපති මාධ්‍ය අංශය පැවසුවා‌.
අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය තොග විනාශ කිරීම පිළිබඳ පොදු සමාජයට සහ මෙහෙයුම්හි නිරත කණ්ඩායම්වල විශ්වාසය තහවුරු කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවයක් බවත් පෙන්වා දුන් ජනාධිපතිවරයා ඒ සඳහා අදාළ නීති සංශෝධන කඩිනම් කරන ලෙසද අදාළ අංශ වෙත උපදෙස් දී තිබෙනවා.
එම කටයුතුවලදී මතුව ඇති ප්‍රමාදය වළක්වා ගැනීම වෙනුවෙන්, ඊට අදාළ නීති සංශෝධනය සඳහා පත්කර ඇති කමිටුව සමඟ සාකච්ඡා කර නීති සම්පාදන කටයුතු කඩිනම් කිරීමටද ජනාධිපතිවරයා උපදෙස් දුන් බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළා.
පුනරුත්ථාපන පනත වර්තමානයට ගැලපෙන පරිදි කඩිනමින් සංශෝධනය කිරීමටත්, ඒ සඳහා වු යෝජනා හැකි ඉක්මණින් ලබා ගෙන අවසන් කරන ලෙසත් ජනාධිපතිවරයා උපදෙස් දී තිබෙනවා.

Share