නිරාකරණයවන QR ගැටලුව

ඉන්ධන කෝටාව සෑම සතියකම සෙනසුරාදා දිනයෙන් අවසන් වන අතර එය අලුත් වන්නේ ඉරිදා බව ලංකා ඛණිජතෙල් නීතිගත සංස්ථාව පවසනවා.
සංස්ථාවේ සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා පැවසුවේ QR කේතය හඳුන්වාදීමෙන් රට තුළ ඉන්ධන පරිභෝජනය 20% කින් අඩු වනු ඇතැයි අපේක්ෂා කරන බවයි.
මේ අතර ඔක්ටේන් 92 පෙට්‍රල් සහ ඩීසල් අප්‍රේල් මාසය දක්වාත් , ඔක්ටේන් 95 පෙට්‍රල් සහ සුපර් ඩීසල් මැයි මාසය දක්වාත් ප්‍රමාණවත් තරම් සංචිත රට තුළ ඇතැයි බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද පාර්ලිමේන්තුවට දැනුම් දුන්නා.
QR කේතය ලබා ගැනීමේදී මතුව තිබූ තාක්ෂණික දෝෂ ද මේ වන විට යථාවත් කර තිබෙනවා.

උත්සන්න වන මැදපෙරදිග යුදමය වාතාවරණය සමඟ ලෝක තෙල් සැපයුමට බාධා එල්ල වීම හමුවේ රට තුළ පවතින ඉන්ධන සංචිත නිසි කළමනාකරණයකින් භාවිත කිරිීම සඳහා රජය විසින් එක් එක් වාහන වර්ගය සඳහා ඉන්ධන කෝටාවක් හඳුන්වා දෙනු ලැබුවා.
ඒ අනුව පසුගිය ඉරිදා සිට ඉන්ධන ලබා ගැනිම සඳහා QR කේතය අනිවාර්ය කෙරුණු නමුත් පිරවුම්හල් අසල පෝලිම් තවදුරටත් දක්නට ලැබෙනවා.

බලශක්ති අමාත්‍ය කුමාර ජයකොඩි මහතා අද පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේ රට තුළ ප්‍රමාණවත් තරම් ඉන්ධන සංචිත පවතින බවයි.

ශ්‍රී ලංකාව ඇණවුම් කළ ඉන්ධන තොගයක් රැගත්, නෞකාවක් අද මෙරටට ළඟා වූ අතර, අද උදෑසන කෙරවළපිටිය ඉන්ධන ගබඩාව වෙත ඉන්ධන ගොඩබෑමෙන් අනතුරුව එම ඉන්ධන තොගයෙන් තවත් කොටසක් අද දින පස්වරුවේ කොළඹ වරාය, ඩොල්පින් ජැටිය වෙත පැමිණි කොලොන්නාව ගබඩාව වෙත සම්ප්‍රේෂණය කිරීම සිදු වුණා.
මෙම නෞකාව මඟින් ඔක්ටේන් 92 පෙට්‍රල් මෙට්‍රික් ටොන් – 17000ක්ද, ඩීසල් මෙට්‍රික් ටොන් – 18000ක්ද, සුපිරි ඩීසල් මෙට්‍රික් ටොන් – 2800ක්ද රැගෙනවිත් තිබෙනවා.
කෙලොන්නාව සහ මුතුරාජවෙල පර්යන්ත වෙතින් ඉන්ධන බෙදාහැරීම ද අද සාමාන්‍ය පරිදි සිදු කෙරුණා.

මේ අතර ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරන්නේ QR ක්‍රමවේදයට පිටින් ඉන්ධන නිකුත් කරන පිරවුම්හල්වල බලපත්‍ර අත්හිටුවන බවයි.

මේ අතර QR කේතය ලබාගැනීමේදී මතුව තිබූ තාක්ෂණික ගැටළු බොහොමයක් මේ වන විට යථාවත් කර ඇතැයි ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශය පවසනවා.
ඒ අනුව ලියාපදිංචියේදී දැනටමත් වාහනය ලියාපංදිංචි කර ඇති බවට වන දෝෂ සටහන යාවත්කාලීන කර තිබෙනවා.
එමෙන්ම නව හිමිකරුවෙකුට පැවරූ වාහනයක පෙර ලියාපදිංචිය මකා දැමීමට හැකි නමුත් ඒ සඳහා පෙර ලියාපදිංචිය සිදු කළ ජංගම දුරකතන අංකය ඔස්සේ වෙබ් අඩවියට පිවිසිය යුතුයි.
අලුතෙන් මිලදී ගත් වාහන ලියාපදිංචි කිරීමේ දී පැන නැගී තිබූ ගැටලු ද මේ වන විට යථාවත් කර ඇතැයි ඩිජිටල් ආර්ථික කටයුතු අමාත්‍යංශය පවසනවා.
එමෙන්ම ලියාපදිංචි වීමේදී චැසි අංකය වැරදියි යනුවෙන් දෝශ සටහනක් ලද අවස්ථාවලදී මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව හරහා හෝ පළමු හිමිකරු හරහා අදාළ අංකය තහවුරු කර ගත යුතු වනවා.
එක් දුරකතන අංකයක් සහ ජාතික හැඳුනුම්පත් අංකයක් යටතේ ලියාපදිංචි කළ හැක්කේ එක් වාහනයක් පමණයි.

ඉන්ධන අර්බුදය හමුවේ ගුවන් සේවාව අඛණ්ඩව පවත්වා ගැනීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡාවක් අද පැවැත්වුණා.
පවතින ගුවන්යානා ඉන්ධන සංචිත ප්‍රමාණය සහ එය කළමනාකරණය කිරීම පිළිබඳ එහිදී අවධානය යොමු වී තිබෙනවා.

මේ අතර මෙරටට අවශ්‍ය ඉන්ධන ලබා ගැනීම සඳහා ශ්‍රී ලංකාව ඉන්දියාව සමඟ සිදු කරන සාකච්ඡා අතිශය සාර්ථකව සිදුවන බව වාර්තා වනවා.
ඒ හා සම්බන්ධ පාර්ශ්වයක් ටීවී සුප්‍රීම් නිවුස් වෙත පැවසුවේ දෙපාර්ශ්වය දෛනිකව පවතින තත්ත්වය සමාලෝචනය කරමින් අඛණ්ඩව සාකච්ඡාවල නිරත වන බවයි.
ශ්‍රී ලංකා රජය පාර්ශ්වයෙන් අවශ්‍ය තොග පිළිබඳ විධිමත්ව දැනුම් දී ඇති අතර එය සපුරාලිය හැකි ආකාරය සම්බන්ධයෙන් ඉන්දියාවේ අවධානය යොමු වී ඇතැයි එක් මූලාශ්‍රයක් ටීවී සුප්‍රීම් නිවුස් වෙත තහවුරු කළා.
ශ්‍රී ලංකාවට අමතරව බංග්ලාදේශය සහ මාලදිවයින ද ඉන්ධන සඳහා ඉන්දියාවෙන් ඉල්ලීම් කර තිබුණා.
බංග්ලාදේශයට දැනටමත් ඩීසල් ටොන් 5000ක් ලබා දී ඇති අතර සති අන්තයේ තවත් ටොන් 5000ක් ලැබීමට නියමිතයි.
බංග්ලාදේශ ඛනිජ තෙල් සංස්ථාවේ සාමාන්‍යාධිකාරීවරයා මාධ්‍ය වෙත පවසා තිබුණේ අප්‍රේල් මාසය වන විට ඉන්දියාවෙන් ඩීසල් ටොන් 45,000ක් අතිරේකව ආනයනය කරන බවයි.

Share