බදාදා දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස නම් කෙරේ

ලෝක මට්ටමේ පවතින ඉන්ධන සපයා ගැනීමේ ගැටලුව සැලකිල්ලට ගෙන ඊට මුහුණදීම සඳහා රජයේ සේවකයින්ට හෙට සිට සෑම සතියකම බදාදා දිනවල නිවාඩු ලබාදීමට රජය තීරණය කර තිබෙනවා.
පාසල් සහ විශ්වවිද්‍යාල මෙන්ම අධිකරණ ක්ෂේත්‍රයට ද මෙම දිනය නිවාඩු දිනයක් ලෙස සැලකෙනු ඇති.
අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසුවේ වැඩ කරන අනෙකුත් සතියේ දින හතරේදී සේවා ස්ථානයට ගෙන්වා ගැනීමට අවශ්‍ය සේවකයින් ගණන සම්බන්ධයෙන් අවශ්‍ය තීරණය ගැනීමට ආයතන ප්‍රධානීන්ට අවසර ලබා දී ඇති බවයි.

මේ වන විට ලෝක බලශක්ති සැපයුමට එල්ල වී ඇති බාධා සැලකිල්ලට ගනිමින් රට තුළ බලශක්ති සුරක්ෂිතභාවය තහවුරු කිරීම මෙන්ම ආර්ථික ක්‍රියාවලිය සහ අත්‍යවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු කඩිනම් පියවර පිළිබඳ සොයා බැලීමේ සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේදී ඊයේ පස්වරුවේ පැවැත්වුණා.
අදාළ අමාත්‍යවරු සහ අමාත්‍යාංශ ලේකම්වරුන්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී උද්ගතව ඇති තත්ත්වය හමුවේ රාජ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ විශේෂ අවධානය යොමු කෙරුණා.
විශේෂයෙන් අධ්‍යාපන, සෞඛ්‍යය, සංචාරක, ධීවර, කර්මාන්ත, කෘෂිකර්ම, වරාය හා නාවික කටයුතු, ගුවන්තොටුපොළ සේවා සහ ඩිජිටල් සේවා ආදී ක්ෂේත්‍රයන්හි සුවිශේෂත්වය සහ ප්‍රායෝගික තත්ත්වය සැලකිල්ලට ගනිමින්, අවම බලශක්ති පරිභෝජනයක් සහතික වන පරිදි එම සේවා පවත්වාගෙන යාමට මේ මොහොතේ ගත හැකි විකල්ප ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී වෙන්ව වෙන්ව විමසා බැලුණු බවයි ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ.
ප්‍රධාන ක්ෂේත්‍රවල සේවා අඛණ්ඩව පවත්වා ගෙන යාමට ලබා දෙන ඉන්ධන ප්‍රමාණය තීරණය කිරීමට අමාත්‍යාංශ ලේකම්වරුන් සහ එම ක්ෂේත්‍ර නියෝජනය කරන ප්‍රවීණයන්ගෙන් සමන්විත කමිටුවක් මගින් වාර්තාවක් ලබා දෙන ලෙස ද ජනාධිපතිවරයා මෙහිදී උපදෙස් දී තිබෙනවා.
සාකච්ඡාවේදී ගනු ලැබූ තිරණ දැනුම් දීමට අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වුණා.

Share