ශ්‍රී ලංකා ප්‍රවෘත්ති වෙබ් අඩවි වන කලම්බු ටෙලිග්‍රාෆ් සහ ලංකා නිවුස් විසින් පළ කරන ලද ‘අපහාසාත්මක’ ලිපි අන්තර්ජාලයේ ඉවත් කරගන්නා ලෙස ඉල්ලමින් ශ්‍රී ලාංකික විනිසුරුවරයකු කර්ණාටක මහාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කර තිබෙනවා.
එම පෙත්සම විභාගයට ගත් අවස්ථාවේ දී ගුගල් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා පවසා ඇත්තේ එම පෙත්සම පවත්වාගෙන යා නොහැකි ත්‍රාසජනක එකක් බවයි.
මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස කටයුතු කරණ ඒ. එච්. එම්. ඩී. නවාස් මහතා කර්නාටක මහාධිකරණයට මෙම පෙත්සම ගොනු කරමින් ඉල්ලා සිටියේ තමාට එරෙහිව අපහාසාත්මක අන්තර්ගතයන් සහ ප්‍රවෘත්ති වාර්තාවල සබැඳි ඉවත් කරන ලෙස ගූගල් සමාගමට නියෝගයක් නිකුත් කරන ලෙසයි.
ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වන ප්‍රවෘත්ති පළ කෙරෙන වෙබ් අඩවි වන කලම්බු ටෙලිග්‍රාෆ් සහ ලංකා නිවුස් විසින් වසර 2015 සහ 2020 දී තමාට එරෙහිව ප්‍රකාශයට පත් කරන ලදැයි කියන අපහාසාත්මක ප්‍රවෘත්ති වල සබැඳි ඉවත් කරන ලෙස ගූගල් ඉන්දියා සමාගමට නියෝග කරන ලෙස ඉල්ලා මෙරට ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු වන ඒ. එච්. එම්. ඩී. නවාස් මහතා මෙම පෙත්සම ගොනු කර තිබුණා.
මේ සම්බන්ධයෙන් පළවූ ද ඉන්දියන් එක්ස්ප්‍රස් හි වාර්තාවකට අනුව, ගූගල් සමාගම කර්නාටක මහාධිකරණයට පවසා ඇත්තේ ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයා අපහාසාත්මක ප්‍රවෘත්ති ලිපි ඉවත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සමක් පවත්වාගෙන යා නොහැකි බවයි.
මෙහිදී ගූගල් සමාගම වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනු පී. කුල්කර්නි මහතා තර්ක කළේ පෙත්සම්කරු ශ්‍රී ලංකා ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරයෙකු මෙන්ම අදාළ වාර්තා ශ්‍රී ලංකාවේ ප්‍රකාශයට පත් කරන ලද අන්තර්ගතයන් බැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට මෙම අධිකරණයට බලයක් නොමැති බවයි.
එමෙන්ම නීතිඥ කුල්කර්නි මෙම පෙත්සම “ත්‍රාසජනක පෙත්සමක්” ලෙස ද විස්තර කළා.
එසේම ගූගල් ඉන්දියා මෙම නඩුවේ පාර්ශවකරුවෙකු කළ නම් නොහැකි බවත්, සෙවුම් යන්ත්‍රය ක්‍රියාත්මක කරන එක්සත් ජනපදය පදනම් කරගත් සමාගමක් වන ගූගල් එල්එල්සී, මෙහි වගඋත්තරකරු ලෙස නම් කළ යුතු බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළා.
මෙම පෙත්සම සලකා බැලීමේදී ගූගල් සමාගම වෙනුවෙන් ඉදිරිපත් වූ නීතිඥවරයා වැඩිදුරටත් සඳහන් කළේ මෙය සලකා බැලුවහොත්, ලොව පුරා සිටින විනිසුරුවරුන්ට ඉන්දියාවේ අධිකරණ වෙත ඒ හා සමාන සහනයක් ඉල්ලා සිටීම සඳහා මාර්ග විවෘත වන අතර එය ඉන්දීය අධිකරණ පද්ධතියට අනවශ්‍ය බරක් විය හැකි බවයි.
එබැවින් මෙම පෙත්සම නිෂ්ප්‍රභා කරන ලෙස ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියා.
මෙහි දී විනිසුරු නවාස් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ප්‍රභාකරන් රාමචන්ද්‍රන් මහතා, අධිකරණයෙන් ඉල්ලා සිටියේ, ද්වේෂසහගත ලිපි මගින් ලොව පුරා විනිසුරුවරුන් බිය ගැන්විය යුතු නැති බවට තර්ක කරමින් ස්ථිර ස්ථාවරයක් ගන්නා ලෙසයි.
එමෙන්ම නඩු විභාගය අතරතුර, පෙත්සම්කරුගේ නීතිඥවරයා මතභේදාත්මක ලිපි රචනා කළ මාධ්‍යවේදියා විසින් කරන ලදැයි කියන ඇතැම් සමාජ මාධ්‍ය පළ කිරීම් කෙරෙහි ද අධිකරණයේ අවධානය යොමු කිරීමට උත්සාහ කළ අතර, මෙම කාරණය අධිකරණය ඉදිරියේ විභාග වෙමින් පවතින අතරතුර එවැනි ප්‍රකාශ ප්‍රකාශයට පත් කිරීම අධිකරණයට අපහාසයක් විය හැකි බවට තර්ක කළා.
ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකු ලෙස, තමාගේම නඩුවකදී විනිසුරුවරයෙකු විය නොහැකි බවට වන නීතිමය මූලධර්මය හේතුවෙන් විනිසුරු නවාස් ශ්‍රී ලංකාවේ නඩුවක් ගොනු කළ නොහැකි බව පවසමින් කර්ණාටක මහාධිකරණය හමුවේ මෙම පෙත්සම ගොනු කර තිබුනා.
මෙම පෙත්සම මාර්තු 26 වැනි දින දක්වා කල් තැබුණා.




