ඉන්ධන අලෙවිය සඳහා QR ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබුව ද අදත් රටපුරා ඉන්ධන පෝලිම්

ඉන්ධන අලෙවිය සඳහා QR ක්‍රමයක් හඳුන්වා දෙනු ලැබුව ද අදත් රටපුරා ඉන්ධන පිරවුම්හල් අසළ දිගු පෝලිම් නිර්මාණය වී තිබුණා.
විවිධ වෘත්තිකයින් චෝදනා කළේ පවතින QR මඟින් ලබාදෙන ඉන්ධන කෝටාව තමන්ට කිසිසේත් ප්‍රමාණවත් නොවන බවයි.
මේ අතර කෘෂිකාර්මික කටයුතු සඳහා නිකුත් කරනු ලබන ඉන්ධන කෝටාව අද ප්‍රකාශයට පත් කෙරුණා.

මැදපෙරදිග යුද ගැටුම් උග්‍රවීමත් සමග ගෝලීය බලශක්ති වෙළෙඳපොළේ ඇතිව තිබෙන සැපයුම් අවිනිශ්චිතතාව තුළ මෙරට ඉන්ධන සංචිත නිසි පරිදි කළමනාකරණය කර ගැනීමේ අරමුණෙන් ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය හරහා ඉන්ධන කෝටාව ලබාගැනීමේ QR කේත ක්‍රියාවලියක් ඊයේ පෙරවරු 6 සිට ක්‍රියාත්මක වනවා.
තාක්ෂණික ගැටලු මතු වීම හේතුවෙන් ඊයේ යම් සහනයක් හිමි වුවද අද පෙරවරුවේ සිට QR කේතය අනුව ඉන්ධන ලබා දීම අකුරටම ක්‍රියාත්මක වුණා.
එසේ තිබිය දී අද පෙරවරුවේ සිටම බොහෝ පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණා. ඉන්ධන පිරවුම්හල් අවට පොලිස් ආරක්ෂාවක් ද ‌යොදවා තිබුණා. QR ‍කේත සම්බන්ධයෙන් පවතින ගැටලු ඉතා ඉක්මණින් නිරාකරණය කිරිමට කටයුතු කරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ අධ්‍යක්ෂ ‍ජනරාල් මයුර නෙත්තිකුමාර මහතා සඳහන් කළා.

මේ අතර ගොවීන්ට QR කෝටාවට පරිබාහිරව ඉන්ධන ලබාදීමට තීරණය කර ඇති බව ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව පවසනවා.
ඒ අනුව 2025/26 මහකන්නයේ අස්වනු නෙළන ගොවීන් සඳහා අක්කරයකට ලීටර් 15ක ඉන්ධන ප්‍රමාණයක් ලබාදීමට නියමිතයි.
එමෙන්ම යළ කන්නයේ වගා කිරීමට සීසෑමේ කටයුතු සිදු කරන ගොවීන් සඳහා අක්කරයකට ලීටර් 20ක ඉන්ධන ලබාදෙනවා. මගී ප්‍රවාහන බස් රථ සඳහා දුර ප්‍රමාණය අනුව ඉන්ධන කෝටාවක් ලබා දීමට තීරණය කර තිබෙනවා. කෙසේ වෙතත් පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පෙන්වා දෙන්නේ ලංගම ඩිපෝ මගින් ඉන්ධන ලබා ගැනීම ප්‍රායෝගික නොවන බවයි.

සංචාරක කර්මාන්තය සඳහා ද විශේෂ QR කේත

මේ අතර ජාතික ඉන්ධන බලපත්‍ර පද්ධතිය හරහා ඉන්ධන කෝටාව ලබාගැනීමේ QR කේත ක්‍රියාවලිය සංවර්ධන කරන ලද්දේ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඒජන්සිය , ඩයලොග් ආසියාටා ආයතනය සහ මිලේනියම් IT යන ආයතනවල කණ්ඩායම් විසින් බව හිටපු විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර හෙළිකර තිබෙනවා.
සිය X ගිණුමේ සටහනක් තබමින් හිටපු අමාත්‍යයවරයා පවසන්නේ, ජයන්ත ද සිල්වා හා ICTA හි ඔහුගේ කණ්ඩායම, ඩයලොග් ආසියාටා හි සුපුන් වීරසිංහ හා ඔහුගේ කණ්ඩායම සහ ෂෙවාන් ගුණතිලක සමග මිලේනියම් IT හි කණ්ඩායම වෙත මෙම පද්ධතිය සංවර්ධනය කිරීමේ ගෞරවය හිමිවිය යුතු බවයි.
2022 ජූලි මාසයේදී හඳුන්වාදුන් ජාතික ඉන්ධන අවසර පත්‍ර QR පද්ධතිය සීමිත සම්පත් මධ්‍යයේ ඉන්ධන බෙදාහැරීම කාර්යක්ෂමව කළමනාකරණය කිරීම සඳහා නිර්මාණය කර ඇති බව ඔහු පවසනවා.

යක් හඳුන්වා දෙන බව නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පැවසුවා. තවත් කේෂ්ත්‍ර ගණනාවක පිරිස් තමන්ට ලැබෙන ඉන්ධන කෝටාව ප්‍රමාණවත් නැතැයි මැසිවිලි නඟනවා. මේ අතර, රට තුළ ප්‍රමාණවත් ඉන්ධන සංචිත පවතින අතර, අද දිනයේ ද පිරිපහදු කළ ඉන්ධන රැගත් නෞකාවක් මෙරටට ළඟා වූ බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසුවා.

මේ අතර ඉන්ධන සඳහා QR කේතය ලබාගන්නා අන්තර්ජාල නිල වේදිකාව ලෙසටම සකසන ලද ව්‍යාජ වෙබ් අඩවියක් සම්බන්ධයෙන් සයිබර් ආරක්ෂණ විශේෂඥයින් අනතුරු අඟවනවා.
සයිබර් ආරක්ෂණ විශේෂඥ අසේල වෛද්‍යාලංකාර මහතා පෙන්වා දෙන්නේ ව්‍යාජ වෙබ් අඩවිය නිර්මාණය කර ඇත්තේ පරිශීලකයන්ගේ පෞද්ගලික තොරතුරු ලබාගැනීම සඳහා නොමඟයවනසුළු ආකාරයෙන් බවයි.
ඉන්ධන QR කේතය ලබාගන්නා වේදිකාව වෙත ප්‍රවේශ වීමේදී සුපරීක්ෂාකාරී වන ලෙස ඛනිජ තෙල් සංස්ථාව ද ජනතාවට සිහිපත් කරනවා.

Share