නැකතේ පරහ විසඳූ හැටි

ජනතාව අවිනිශ්චිතතාවට පත් නොකොට නැකැත් සීට්ටුවක් සැකසීමට සියලු පාර්ශවයන්ගේ එකඟතාවය හිමි වූ බව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පවසනවා. අද පෙරවරුවේ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ පැවති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සදහන් කළේ මුද්‍රිත නැකැත් සීට්ටුව හෙට දිනය වන විට ලබා දිය හැකි බවයි.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද යනු මෙරට ප්‍රධානතම සංස්කෘතික උත්සවයයි. එහි පදනම නැකත් සම්ප්‍රදාය මත සකස් වූවක්. රාජ්‍ය නැකත් කමිටුව විසුරුවා හැර ඇති පසුබිමක මෙවර අලුත් අවුරුදු නැකත් සම්බන්ධයෙන් මතභේදයක් ඇතිව තිබුණා.

ඒ අනුව බුද්ධ ශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේදී සාකච්ඡාවක් පැවැත් වුණේ අලුත් අවුරුදු නැකත් සීට්ටුව පිළිබඳ තීරණයක් ගැනීම සඳහායි

ඊට ඈපා පංචාංග ලිත් කතෘ ඉන්දික ඈපා සෙනවිරත්න, තිරසර පංචාංග ලිත් කතෘ චමත් කොතලාවල ඇතුළු පිරිසක් එක්ව සිටියා. අනතුරුව විකල්ප නැකත් කණ්ඩායමේ සාමාජිකයින් සහ අමාත්‍යවරයා අතර ද සාකච්ඡාවක් පැවැත්වුණා. සාකච්ඡාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍ය ආචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා පැවසුවේ සියලු පාර්ශවයන්ගේ එකඟතාව හිමි වූ මුද්‍රිත නැකැත් සීට්ටුව හෙට දිනය වන විට ලබා දිය හැකි බවයි.

Share