බාල ගල්අඟුරු හේතුවෙන් පසුගිය සෙනසුරාදා දිනයේත් ලංකා විදුලිබල මණ්ඩලයට අහිමි වූ මෙගාවොට් 135ක් සඳහා රුපියල් කෝටි 19ක පාඩුවක් සිදුව ඇතැයි එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා පවසනවා.
ප්‍රකාශයක් ලබාදීම සඳහා කොළඹ අපරාධ කොට්ඨාසය හමුවට පැමිණි අවස්ථාවේදී ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කළේ රජය විදුලි ගාස්තු වැඩිකිරීම සඳහා කටයුතු කළහොත් තමන් ඊට එරෙහිව මැදිහත්වන බවයි.
මේ අතර මිහින් ලංකා සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සජින් වාස් ගුණවර්ධන මහතාට එරෙහිව අල්ලස් කොමිසම, කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබෙනවා.
ඒ, මිහින් ලංකා ගුවන් සමාගමට ටෙන්ඩර් පටිපාටිය අනුගමනය නොකර ගුවන් යානයක් බදු පදනම යටතේ ලබා ගැනීමෙන් රජයට පාඩු සිදුකිරීම ඇතුළු චෝදනා 04 ක් යටතේයි.
එම ක්‍රියාවලිය තුළින් බෙස්ට් එයාර් ලයින්ස් සමාගමට වාසියක් සැලසීම සම්බන්ධයෙන් අල්ලස් පනතේ 70 වැනි වගන්තිය යටතේ විත්තිකරුට එරෙහිව මෙම අධිචෝදනා ඉදිරිපත් කර තිබෙනවා.




