අත්අඩංගුවට ගන්නා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගේ නඩු කටයුතු අවසන් වනතුරු ඇප ලබා නොදීමට නව නීති

මත්ද්‍රව්‍ය ජාවරම්කරුවන් අත්අඩංගුවට ගත් පසු ඔවුන්ගේ නඩු විභාග අවසන් වන තෙක් ඇප ලබා නොදීමේ නීතියක් ගෙන ඒමට කඩිනමින් කටයුතු සම්පාදනය කරන බව මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටගල මහතා පවසනවා.
විෂමත්ද්‍රව්‍ය මුලිනුපුටා දැමීම සඳහා වන රටම එකට ජාතික මෙහෙයුමේ බදුල්ල දිස්ත්‍රික් මෙහෙයුම් කමිටු රැස්වීමට එක්වෙමින් ඔහු මේ බව සඳහන් කළා.

මේ අතර ශ්‍රී ලංකා නාවික හමුදාව විසින් පසුගියදා දිවයිනට දකුණු දෙසින් වූ මුහුදේ දී සිය භාරයට මත්ද්‍රව්‍ය සමඟ කොටු වූ සැකකරුවන් 10 දෙනා ඊයේ රාත්‍රියේ අලුත් කඩේ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින හතක රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කිරිමට මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නා.
මෙම සැකකරුවන් අවුරුදු 22ත් 49ත් අතර වයස්වල පසුවන ඉරණවිල, මහවැව, මැල්සිරිපුර, වෙන්නප්පුව, මීගමුව, නාකුළුගම, තංගල්ල, නෙටොල්පිටිය සහ ගන්දර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය සඳහන් කළේ.
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ මුහුදේ දී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 654ක් ප්‍රවාහනය කරමින් සිටි ධීවර යාත්‍රාවක් දික්ඕවිට ධීවර වරායට රැගෙන එනු ලැබුවේ පෙරේදා පෙරවරුවේයි.
රුපියල් බිලියන දහයක් පමණ වටිනාකමින් යුත් මේ මත්ද්‍රව්‍ය තොගය සහ නවීන අවි ආයුධ විදේශ රටකට පලා ගොස් සිටින මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් වන පරවි සුදා සහ අංගොඩ ප්‍රියංකර විසින් එවා ඇති බවටයි පොලිසිය සැක කරන්නේ.
එම ගිනි අවි සහ මත්ද්‍රව්‍ය ප්‍රවාහනයට අදාළ කටයුතු මෙහෙයවා ඇත්තේ, අත්අඩංගුවට ගත් හංසන නමැති දෙවන බහුදින ධීවර යාත්‍රාව භාරව සිටි 23 හැවිරිදි ස්කීපර්වරයා විසින් බව ද හෙළි වී තිබෙනවා.

Share