අම්පාර දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක්

මේ වන විට මහවැලි අධිකාරිය යටතට පවරාගෙන තිබෙන අම්පාර දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් ඉවත් කිරීමට පෙර ඒ සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකර ඔවුන්ට සුදුසු සහන සැලසීමට කටයුතු කරන බව නීතිපතිවරයා විසින් ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දී තිබෙනවා.
අදාල පදිංචිකරුවන් ඉවත් කිරීම අභියෝගයට ලක් කරමින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ මහතා මෙම දැනුම් දීම සිදු කර තිබෙනවා.

මෙම පෙත්සම අගවිනිසුරු ප්‍රීතිපද්මන් සුරසේන, ශිරාන් ගුණරත්න සහ අචල වෙංගප්පුලි යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවා තිබුණා
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විකුම් ද ආබෲ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ, මෙම සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදු කර ගමේ මුල් පදිංචිකරුවන් හඳුනා ගැනීම සහ ඔවුන්ට විකල්ප ඉඩම් ලබාදීම හෝ වන්දි ලබාදීමට කටයුතු කරන බවයි.
එම අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කනිෂ්ක විතාරණ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම පරීක්ෂණය අවසන් වන තුරු එම ගමේ පදිංචිකරුවන්ට ඔවුන් දැනට සිටින ස්ථානයේම රැඳී සිටීමට අවසර ලබාදෙන ලෙසත්, ඔවුන්ට පිළිගත හැකි සහනයක් හිමි විය යුතු බවත් සඳහන් කළා
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පාර්ශවකරුවන්ගේ එකඟතාවය ඇතිව පෙත්සම විභාගය අවසන් කිරීමට තීරණය කළා
අදාළ පරීක්ෂණයෙන් අනතුරුව නිසි සහන නොලැබුණහොත් මෙම නඩු කටයුත්ත මෝසමක් මාර්ගයෙන් යළි කැඳවිය හැකි බවද විනිසුරු මඩුල්ල පෙත්සම්කාර පාර්ශවයට දැනුම් දුන්නා.
අම්පාර දිවුලපතාන ගම්මානය 1980 දශකයේ පමන සිට සිංහල පවුල් අටසීයකට වඩා වැඩි පිරිසක් හේන් වගා කරමින් ජීවත් වූ ගම්මානයක්
කෙසේ නමුත් දිවුලපතාන ග්‍රාමයේ පදිංචිකරුවන් සම්බන්ධ‍යෙන් පසුගිය කාලවකවානුව තුළ ආන්දෝලනයට තුඩු දුන් හේතුව වන්නේ රජයේ සංවර්ධන ව්‍යාපෘති සඳහා ජනාවාස පවරා ගැනීමේදී සිදුවන මානව අයිතිවාසිකම් උල්ලංඝනය වීම් පිළිබඳවයි
එසේම පදිංචිකරුවන් චෝදනා කළේ තමන් දශක ගණනාවක් තිස්සේ ජීවත් වූ ඉඩම්වලින් විකල්ප පදිංචියක් හෝ සාධාරණ වන්දි මුදලක් ලබා නොදී බලහත්කාරයෙන් ඉවත් කිරීමට මහවැලි අධිකාරිය උත්සාහ කරන බවටයි
මෙම ගම්මානයේ ඇතැම් පදිංචිකරුවන් තමන් සතුව තිබූ ඉඩම් ඔප්පු හෝ බලපත්‍රවල නීත්‍යානුකූලභාවය පිළිබඳ ගැටලුවලට මුහුණ දී සිටි අතර, රජය ඒවා පිළිගැනීම ප්‍රතික්ෂේප කර තිබුනු බවත් ජනතාව චෝදනා කලා
කෙසේ වෙතත් අවාසානයේ ගම්වැසියන් සංවිධානය වී සිය මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇති බව පවසමින් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කිරීමට කටයුතු කළා.
එම පෙත්සම විභාගයට ගැනීමෙන් අනතුරුවයි රජයේ පාර්ශ්වයේ ස්ථාවරය නීත්‍යානුකූල ලෙස අධිකරණයට දැනුම් දුන්නේ.

Share