සුප්‍රීම් කෙයාර් ජන සුව යාත්‍රා වැඩසටහනේ 132 වැනි අදියර අද කන්තලේදී

මෙරට මාධ්‍ය ආයතනයක් විසින් දියත් කරන දැවැන්තම සමාජ සත්කාරක වැඩසටහනක් වන සුප්‍රීම් කෙයාර් ජන සුව යාත්‍රා වැඩසටහනේ 132 වැනි අදියර අද පැවැත්වෙනවා. ඒ කන්තලේ භාතියගම විහාරස්ථාන පරිශ්‍රය කේන්ද්‍රකර ගනිමින්.

මෙරට වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් දියත් වන සුප්‍රීම් කෙයාර් ජන සුව යාත්‍රා සමාජ සත්කාරක වැඩසටහනේ 132 වැනි අදියරය කන්තලේ භාතියගම විහාරස්ථාන පරිශ්‍රය කේන්ද්‍රකර ගනිමින් මේ වන විට පැවැත්වෙනවා.
වයස අවුරුදු 55ට වැඩි, අඩු ආදයම්ලාභී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ සුවතාව වෙනුවෙන් නොමිලේ ක්‍රියාත්මක වන මෙම සමාජ සත්කාරය අද පස්වරු 2.00 දක්වා ක්‍රියාත්මකයි.

සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩින්ග්ස් සමූහයේ සභාපති ආර්.එම් මනිවන්නන් මහතාගේ සංකල්පයකට අනුව දියත් කරන මෙම ආයතනික සමාජ සත්කාර වැඩසටහන දිවයිනේ ග්‍රාම සේවා කොට්ඨාස 14023 ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක කිරීමටයි සැලසුම් කර ඇත්තේ.

මෙරට ජ්‍යෙෂ්ඨ පුරවැසියන් උදෙසා පැවැත්වෙන මෙම සමාජ සත්කාරක වැඩසටහන සඳහා පූර්ණ මාධ්‍ය දායකත්වය හා සම්බන්ධීකරණ සැලසුම් කටයුතු සිදු කෙරෙන්නේ, සුප්‍රීම් ග්ලෝබල් හෝල්ඩිංග්ස් සමාගමේ පූර්ණ අනුබද්ධිත ටීවී සුප්‍රීම් සහ සුප්‍රීම් රේඩියෝ නාලිකා විසින්.
හෙල්පේජ් ශ්‍රී ලංකා ආයතනය විසින් මෙහි සියලුම සේවා සම්පාදන කටයුතු සිදු කරන අතර අත්දැකීම් සහිත වෛද්‍ය මණ්ඩලයක් හා සහායක කාර්ය මණ්ඩලයක් හරහා එම සේවාවන් ක්‍රියත්මක‍යි.
මෙම දැවැන්ත සමාජ සත්කාරය සඳහා විශාල ශක්තියක් සපයමින් සීනිපුර 5වන කාලතුවක්කු රෙජිමේන්තු කඳවුරේ සාමාජිකයින් ද සිය දායකත්වය ලබාදුන්නේ සිය රාජකාරී කඳවුරු සීමාවේ ජීවත් වන වැඩිහිටි ප්‍රජාව වෙනුවෙන් සහාය වෙමින්.

නොමිලේ සිදු කෙරෙන මෙම සමාජ මෙහෙවර යටතේ අක්ෂි පරික්ෂාව, ඇසේ සුද ඇති බවට හඳුනා ගන්නා රෝගී ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සැත්කම් මගින් කාච දැමීමට අවශ්‍ය අනුග්‍රාහකත්වය දැක්වීම, බෝ නොවන රෝග හඳුනා ගැනීම සඳහා වෛද්‍ය පරීක්ෂණ ක්‍රියාත්මක කිරීම, දෘශ්‍ය ඌනතා සහිත පුද්ගලයන්ට උපැස්‍ යුවල ලබාදීම, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ට යහපත් සෞඛ්‍ය සම්පන්න ජීවිතයක් පවත්වාගෙන යාම වෙනුවෙන් උපදේශනයන් සිදු කිරීම වැනි සේවාවන් රැසක් ක්‍රියාත්මකයි.

Share