අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් ඊයේ අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ, ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන මහතා ලබන 19 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළා
කපිල චන්ද්‍රසේන මහතා රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ ශ්‍රීලන්කන් ගුවන් සමාගමට එයාර් බස් යානා මිලදී ගැනීමේදී අල්ලස් ගත් බවට එල්ල වී ඇති චෝදනා හේතුවෙන්.
2013 වසරේ ශ්‍රී ලන්කන් ගුවන් සමාගම සඳහා එයාර්බස් යානා 4ක් මිලදී ගැනීමේ ගනුදෙනුවේ දී එවක ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වූ කපිල චන්ද්‍රසේන මහතා අමෙරිකානු ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගෙන ඇති බවට බරපතල මූල්‍ය වංචා විමර්ශනය කළ බ්‍රිතාන්‍ය අධිකරණයක් අනාවරණය කර තිබුණා.
එහිදී අනාවරණය වූයේ ශ්‍රී ලංකා ගුවන් සමාගම සහ එයාර් බස් සමාගම අතර ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවේ අතරමැදි පාර්ශ්වයක් ලෙස යම් සමාගමක් ක්‍රියා කර ඇති බවයි.
එම සමාගම ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ විධායක නිලධාරියාගේ බිරිඳට අයත් බවත් එය බෘනායිහි ලියාපදිංචි කර ඇති සමාගමක් බවටත් එම විමර්ශන මගින් අනාවරණය කරගෙන තිබුණා.
එයා බස් සමාගම ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මිලට ගන්නා සහ කල්බදු ක්‍රමයට ලබාගන්නා එයා බස් වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 17ක් අදාළ අතරමැදි සමාගමට අල්ලස් ලෙස ලබාදීමට ඒකඟ වී ඇති බවත්, එයින් ඩොලර් මිලියන දෙකක මුදලක් 2013 වසරේදී ගෙවා ඇති බවටත් බ්‍රිතාන්‍ය අධිකරණය හමුවේ තවදුරටත් අනාවරණය වී තිබුණා.
මේ අතර මෙම ආන්දෝලනාත්මක එයාබස් ගනුදෙනුව හේතුවෙන් ශ්‍රි ලංකා රජයට සිදුව ඇති සමස්ත පාඩුව ඩොලර් මිලියන 400ක් බව වරාය හා සිවිල් ගුවන් සේවා ඇමති අනුර කරුණාතිලක මහතා 2025 නොවැම්බර් මස 25 වන දා, පාර්ලිමේන්තුව හමුවේ අනාවරණය කර තිබුණා.
එම පාඩුව ගණන් බලා ඇත්තේ, දූෂිත එයාර් බස් ගනුදෙනුව අවලංගු කිරීම සදහා අදාල සමාගමට ගෙවීමට සිදු වූ අමෙරිකානු ඩොලර් මිලියන 115ක දඩු මුදලත් සමග බවයි අමාත්‍යවරයා සඳහන් කළේ
ඊට අමතරව, ගුවන් සමාගම ගුවන් යානා දෙකක් මිල දී ගෙන ඇත්තේ වෙළඳපොළ මිලට වඩා ඩොලර් මිලියන පනහක පමණ වැඩි මුදලකට බවයි ඔහු අනාවරණය කළේ.
මෙම චෝදනාව සම්බන්ධයෙන් මීට පෙර ද කපිල චන්ද්‍රසේන මහතා සහ ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුව ද ඊට අදාළ නඩු කටයුතු මෙතෙක් අවසන් වී නැහැ.
මෙම චෝදනාව සම්බන්ධයන් වූ විමර්ශනය යළි ඇරඹූ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම, එම විමර්ශනයට අදාළව ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරී කපිල චන්ද්‍රසේන ඊයේ පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත කැඳවා තිබුණා.
පැය 7කට ආසන්න කාලයක් ප්‍රකාශ ලබාගැනීමෙන් අනතුරුව අල්ලස් කොමිසම විසින් ඔහු අත්අඩංගුවට ගනු ලැබූ අතර, පස්වරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවා.





