මැද පෙරදිග යුද තත්ත්වය

ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් ක්‍රියාත්මක කර ඇති ‘එපික් ෆියුරි’ මෙහෙයුම යටතේ ඉරාන නෞකා 60ක්, යාත්‍රා 30ක් සමග ඉලක්ක 6,000කට ප්‍රහාර එල්ල කර ඇති බව අමෙරිකානු මධ්‍යම අණදෙන මූලස්ථානය නිවේදනය කරනවා.
මේ අතර මැදපෙරදිග කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු සියල්ල වහාම වසා නොදමන්නේ නම් එම කඳවුරු ඉලක්ක කර තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමට සිදුවන බව ඉරාන නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි පටිගත කළ විශේෂ ප්‍රකාශයක් මගින් ප්‍රකාශ කළා.
මේ අතර අමෙරිකානු ගුවන් හමුදාවට අයත් බෝයිං KC-135 වර්ගයේ ගුවනේ දී ඉන්ධන පිරවීමේ යානයක් ඉරාකය තුළදී අනතුරට ලක්වීමේ වගකීම ඉරානයට හිතවත් ඉරාක සන්නද්ධ කණ්ඩායමක් විසින් භාර ගෙන තිබෙනවා.

ඉරාන නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි සිය පත් කිරීමෙන් අනතුරුව පළමු නිල ප්‍රකාශය ඊයේ නිකුත් කළා.
පටිගත කළ විශේෂ ප්‍රකාශයක් වූ මෙහි රට තුළ ජාතික එකමුතුව සහ ඒකීයතාවයේ අවශ්‍යතාව අවධාරණය කර තිබෙනවා.
මෙම ප්‍රකාශයෙන් නව උත්තරීතර නායකයා අනතුරු අඟවන්නේ මැදපෙරදිග කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා කඳවුරු සියල්ල වහාම වසා දමන ලෙසයි.
එසේ හමුදා කඳවුරු සියල්ල වහාම වසා නොදමන්නේ නම් එම කඳවුරු ඉලක්ක කර තවදුරටත් ප්‍රහාර එල්ල කිරීමට සිදුවන බවට ද ඔහු අනතුරු අඟවා තිබෙනවා.
කෙසේ වෙතත්, ඉරානය අසල්වැසි රටවල් සමඟ මිත්‍රත්වය සහ සහයෝගීතාවයට කැපවී සිටින බවත් එහි සදහන්.
එම ප්‍රහාර ඉලක්ක කරන්නේ අමෙරිකානු හමුදා කඳවුරු පමණක් බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කරනවා.
එමෙන්ම, ඉරානයේ නව උත්තරීතර නායක ධුරයට පත් කිරීමෙන් පසු සිදුකළ පළමු නිල ප්‍රකාශය හරහා මොජ්ටාබා අවධාරණය කරන්නේ ඉරානයට එරෙහි පාර්ශවයන්ට පීඩනයක් එල්ල කිරීමේ අරමුණින් හෝමූස් සමුද්‍ර සන්ධිය තවදුරටත් වසා තබන බවයි.

මේ අතර ඉරාන පාලනය සහමුලින්ම අතුගාදමන බව ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු පවසනවා.
ඊයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී ඔහු කියා සිටියේ ඊශ්‍රායලය සහ අමෙරිකාව විසින් ඉරාන මෙන්ම ලෙබනනය පදනම් කරගත් හිස්බුල්ලා සංවිධානය විනාශ කර දමන බවයි.
ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනිට ප්‍රසිද්ධියේ තම මුහුණ පෙන්විය නොහැකි බවද ඔහු මෙම ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී කියා සිටියා.
ඔහු ඉරානයේ නව උත්තරීතර නායකයාව හඳුවා දෙනු ලැබුවේ විප්ලවවාදී ආරක්ෂකයින්ගේ රූකඩයක් ලෙසයි
ඊශ්‍රායල් අගමැති නෙතන්යාහු ඉරාන ජනතාව අමතමින්, කියා සිටියේ “ඔබට නිදහසේ නව මාවතකට පිවිසීමට හැකි වන මොහොත ළඟා වෙමින් තිබෙන අතර. අපි ඔබ වෙනුවෙන් පෙනී සිටිමු, ඔබට උදව් කරන්නෙමු, නමුත් අවසානයේ එය ඔබ මත රඳා පවතී. එය ඔබගේ අතේ ය”යනුවෙනුයි.

ඉරානයට එරෙහිව අමෙරිකාව විසින් ක්‍රියාත්මක කර ඇති ‘එපික් ෆියුරි’ මෙහෙයුම යටතේ ඉරානයේ ඉලක්ක 6,000කට ප්‍රහාර එල්ල කර ඇති බව එක්සත් ජනපද මධ්‍යම අණදෙන නිලධාරියා ප්‍රකාශ කරනවා.
ඔහු සඳහන් කරන්නේ එම ප්‍රහාර මගින් ඉරාන නෞකා 60කට ආසන්න ප්‍රමාණයක් සහ ‍යාත්‍රා 30ක් හානි කර හෝ විනාශ කර ඇති බවයි.
මෙම ප්‍රහාරවල දී අනෙකුත් ඉලක්ක බවට පත්ව ඇත්තේ ඉරාන හමුදා අණ මධ්‍යස්ථාන, අවි නිෂ්පාදන හා බැලස්ටික් මිසයිල මධ්‍යස්ථාන, සබ්මරීන් සහ ගුවන් ආරක්ෂණ පද්ධතියි

මේ අතර ඉරානයට එරෙහි යුද්ධයේ මෙහෙයුම් සඳහා යොදාගත් අමෙරිකානු හමුදාවට අයත් බෝයිං KC-135 වර්ගයේ ගුවනේ දී ඉන්ධන පිරවීමේ යානයක් බටහිර ඉරාක ගුවන් කලාපයේ දි අනතුරට ලක්ව තිබෙනවා.
කෙසේ නමුත් මෙම අනතුර සතුරු ප්‍රහාරයක් හෝ තම හමුදා වෙතින් එල්ල වූ ප්‍රහාරයක් නොවන බවත්, එය ඉන්ධන පිරවීමේදී ඇති වූ සිදුවීමක් බවත් අමෙරිකානු මධ්‍යම අණදෙන මධ්‍යස්ථානය සදහන් කළා.
කෙසේ වෙතත් ඉරානයේ සහාය ලබන සන්නද්ධ කණ්ඩායමක් වන ‘The Islamic Resistance ​in Iraq’ සංවිධානය මෙම යානය බිම හෙළීමේ වගකීම භාරගෙන තිබෙනවා.
ඔවුන් පවසන්නේ තම රටේ ස්වෛරීභාවය සහ ගුවන් අවකාශය ආරක්ෂා කිරීම සඳහා අදාල යානයට වෙඩි තැබූ බවයි.
කඩාවැටුණු යානයේ අවම වශයෙන් කාර්‍ය මණ්ඩල සාමාජිකයින් පස් දෙනෙකු සිටි බව වාර්තා වන අතර එම සිද්ධියට සම්බන්ධ වූ දෙවැනි ගුවන් යානය ආරක්ෂිතව ගොඩබස්වා ඇති බවද වාර්තා වනවා.

මේ අතර ඊයේ රාත්‍රිය පුරා ඊශ්‍රායලයේ ටෙල් අවීව් සහ ජෙරුසෙලම් වෙත නොනවත්වා ඉරාන සහ හිස්බුල්ලා ප්‍රහාර එල්ලවෙමින් පවතින බව CNN සඳහන් කරනවා.
ඩොලර් බිලියන දෙකක් වටිනා ජෝර්දානයේ ස්ථාපිත කර තිබූ ඇමෙරිකානු THAAD රේඩාර් පද්ධතිය ඉරාන ප්‍රහාරවලින් විනාශ වී ඇති නිසා දැන් දැන් මිසයිල හඳුනාගැනීමට කල් ගතවන බවත් අයන් ඩෝම් සහ අයන් බීම් පද්ධති වෙහෙසට පත්ව ඇති බවත් එම වාර්තාවේ සදහන්.

මේ අතර අමෙරිකාවේ ද සත්කාරකත්වය යටතේ ඉදිරියේ දී ආරම්භවීමට නියමිත පාපන්දු ලෝක කුසලාන තරගාවලියට සුදුසුකම් ලබා සිටින ඉරාන පාපන්දු කණ්ඩායම සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සිය Truth සමාජ මාධ්‍යයේ මතභේදාත්මක ප්‍රකාශයක් සටහන් කර තිබෙනවා.
එහි දී ජනාධිපතිවරයා සඳහන් කර ඇත්තේ, “ඉරාන ජාතික පාපන්දු කණ්ඩායම ලෝක කුසලානයට සාදරයෙන් පිළිගන්නා නමුත් ඔවුන්ගේ ජීවිතය සහ ආරක්ෂාව සඳහා ඔවුන් එහි සිටීම සුදුසු යැයි තමන් විශ්වාස නොකරන බවයි.
අමෙරිකාව, කැනඩාව සහ මෙක්සිකෝව යන රටවල සත්කාරකත්වය යටතේ මෙවර පාපන්දු ලෝක කුසලානය ජුනි මස 11 වනදා දින ආරම්භ විමට නියමිතයි.
එහිදී ඉරානය මූලික වටයේ තරග තුනකට ක්‍රීඩා කිරීමට නියමිතව තිබෙනවා.

මේ අතර ඉරාන ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය අහමඩ් ඩොන්යමාලි ඊයේ දින ප්‍රකාශ කර සිටියේ ඉරාන ක්‍රීඩකයින්ගේ ආරක්ෂාව ගැන සහතිකයක් නොමැතිව කොන්දේසි විරහිතව පාපන්දු ලෝක කුසලානය තරගාවලියට ක්‍රීඩා නොකරන බවයි.
එහිදී ඔහු කියා සිටියේ “මෙම දූෂිත රජය අපගේ නායකයා ඝාතනය කළා, ඒ නිසා කිසිදු තත්වයක් යටතේ ලෝක කුසලානයට සහභාගීවීමට අපේ අදහසක්නෑ” ‍යනුවෙනුයි.

මේ අතර ෆිෆා සභාපති ජියානි ඉන්ෆැන්ටිනෝ මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ තමන් ඉරාන කණ්ඩායම ගැන ජනපති ට්‍රම්ප් සමගින් සාකච්ඡා කළ බවයි.
එහිදී ඔහු තරගාවලියට සහභාගීවීම සඳහා ඉරානය සාදරයෙන් පිළිගන්නා බව පවසා සිටි බව ද ජියානි ඉන්ෆැන්ටිනෝ කියා සිටියා.

Share