කටුනායක ගුවන් තොටේදී අත්අඩංගුවට ගත් ලංකා ඊ නිවුස් කර්තෘ CIDයට

කටුනායක දී පොලිස් අත්අඩංගුවට ගැණුනු ලංකා ඊ නිව්ස් කර්තෘ ‌ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සඳරුවන් සේනාධීර, ඔහුට අදාළ පැමිණිල්ලලේ විමර්ශන සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දී තිබෙනවා.
සේනාධිර මහතා අද පෙරවරුවේ ගම්පහ මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ලංකා ඊ නිව්ස් කර්තෘ ‌ජ්‍යේෂ්ඨ මාධ්‍යවේදී සඳරුවන් සේනාධීර, ඊයේ කටුනායක පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළින් මෙරටට පැමිණෙමින් සිටියදී.
බ්‍රිතාන්‍යයේ දේශපාලන රැකවරණ ලබමින් එහි ජීවත්වන ඔහු ඊයේ ඔහු මෙරටට පැමිණ තිබුණ් වසර 16කට පසුවයි.
‘ලංකා ඊ නිව්ස් මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කර, ඊ නිවුස් මාධ්‍ය කාර්යාලය ගිනි තබා, දිගින් දිගටම එල්ල කළ තර්ජන හමුවේ එහි කර්තෘවරයා වූ සඳරුවන් සේනාධීර, රටින් පිටව ගිය ද බ්‍රිතාන්‍යයේ සිට තම වෙබ් අඩවිය පවත්වා ගෙන ගියා.
ඒ අතරතුර 2016 වසරේදී මාධ්‍යවේදී සඳරුවන් සේනාධීරට එරෙහිව එවකට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මහත්මිය විසින් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ජාත්‍යන්තර වරෙන්තුවක් නිකුත් කර තිබුණා
අදාළ වරෙන්තුව නිකුත් කර තිබුණේ, ‘රිවිර’ පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ සිද්ධියට අදාළව යුද හමුදා බුද්ධි අංශ නිලධාරියකු වූ ප්‍රේම් ආනන්ද උදලාගම නමැති සැකකරු, හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට ප්‍රථම, ඔහුගේ ඡායාරූප ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළ කළ බවට වූ චෝදනාව යටතේයි.
සඳරුවන් සේනාධීර කටුනායක දී ඊයේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එම වරෙන්තුව මත බව සඳහන්.
අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත්කරමින් නිදහස් මාධ්‍ය ව්‍යාපාරය රජයෙන් ඉල්ලා සිටින්නේ ‘ලංකා ඊ නිව්ස් කර්තෘවරයාගේ ආරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නා ලෙසයි.

මේ අතර මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජයපාල මහතා වෙත ලිපියක් යොමු කරමින් වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය මෙම අත්අඩංගුවට ගැනීම පිළිබඳ සිය කනස්සල්ල පළ කරනවා
මාධ්‍යවේදී සඳරුවන් සේනාධීර ජීවිත ආරක්ෂාව පතා රටින් බැහැරව ගිය රාජපක්ෂ පාලන යුගයේ පැවති සමාජ අවිනිශ්චිතභාවය වත්මන් පාලනය තුළද ක්‍රියාත්මක වන්නේ දැයි සැකය ඇති වන බව අදාළ ලිපියේ සඳහන්.

Share