කමේනිගේ පුතා තුවාල ලබයි

ඊශ්‍රායලය – ඇමරිකා එක්සත් ජනපදය ඒකාබද්ධ ප්‍රහාරයේ දී ඉරානයේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනිගේ පාදවලට තුවාල සිදුව ඇති බව නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත වාර්තා කරනවා.
මේ අතර මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී අද තීරණාත්මක ඡන්ද විමසීමක් ද පැවැත්වීමට නියමිතයි.
මේ අතර හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්න මුහුදු කලාපයේ දී ඉරාන නෞකා 16කට ප්‍රහාර එල්ල කළ බව ඇමරිකා එක්සත් ජනපද හමුදාවේ මධ්‍යම අණදෙන විධානය නිවේදනය කළා.

ඊශ්‍රායලය සහ ඇමෙරිකාව එල්ල කළ ප්‍රහාර හේතුවෙන් ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස තෝරා ගැණුනු මොජ්තාබා කමේනි තුවාල ලබා ඇති බව වාර්තා වෙනවා.
නම් නොකළ ඉරාන නිලධාරීන් තිදෙනෙකු උපුටා දක්වමින් නිව්යෝර්ක් ටයිම්ස් පුවත්පත පැවසුවේ කමේනිගේ පාදවලට තුවාල සිදුව ඇති බවයි.
කෙසේ වෙතත් ඉරාන රජයේ උපදේශකයෙකු වන එරට ජනාධිපතිවරයාගේ පුත්‍රයා වන යූසෙෆ් පෙසෙෂ්කියන් සදහන් කරන්නේ නව උත්තරීතර නායක මොජ්තාබා කමේනි “ආරක්ෂිතව හා නිරෝගීව” සිටින බවයි.
ප්‍රසිද්ධියේ පෙනී සිටීම හෝ නිල උත්සවවලදී කතා කිරීම කලාතුරකින් සිදු කරන 56 හැවිරිදි මොජ්තාබා කමේනි, උත්තරීතර නායකයා ලෙස ප්‍රකාශයට පත් කිරීමෙන් පසු මෙතෙක් ජාතිය ඇමතුවේ හෝ ලිඛිත ප්‍රකාශයක් නිකුත් කළේ නැහැ.

මැදපෙරදිග කලාපයේ පවතින යුදමය තත්ත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේදී අද තීරණාත්මක ඡන්ද විමසීමක් පැවැත්වීමට නියමිතයි.
මෙහි ප්‍රධානතම යෝජනාව වන්නේ බහරේනය ඇතුළු ගල්ෆ් කලාපීය රටවල් විසින් ඉදිරිපත් කර ඇති ඉරානයට එරෙහි යෝජනාවයි.
එමගින් බහරේනය, කුවේටය, ඕමානය, කටාර්, සෞදි අරාබිය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ ජෝර්දානය යන රටවලට එල්ල වූ ඉරාන මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර හෙළා දැකීම සිදු කෙරෙන අතර එම ප්‍රහාර වහාම නතර කරන ලෙසත්, ප්‍රොක්සි කණ්ඩායම් හරහා එල්ල කරන තර්ජන අවසන් කරන ලෙසත් මෙම යෝජනා කෙටුම්පත මගින් ඉල්ලා සිටිනවා.
මීට සමගාමීව රුසියාව විසින් ද යෝජනාවක් ඉදිරිපත් කර ඇති අතර, එමගින් මූලිකවම ඉල්ලා සිටින්නේ කලාපයේ පවතින හමුදාමය නොසන්සුන්තාව වහාම අඩු කර සාකච්ඡාමය විසඳුම් කරා එළඹෙන ලෙසයි.
බහරේනය ප්‍රමුඛ ගල්ෆ් රටවල යෝජනාව පක්ෂපාතී සහ දේශපාලනිකව මෙහෙයවනු ලබන එකක් බව ඉරානය පවසනවා.
මෙමගින් සැබෑ ආක්‍රමණිකයන් සහ වින්දිතයන් හඳුනා නොගන්නා බවටත්, එය ආරක්ෂක මණ්ඩලයේ විශ්වාසනීයත්වයට හානි කරන බවටත් ඉරාන නියෝජිත අමීර් සයිඩ් ඉරවානි අනතුරු අඟවා තිබෙනවා.

මේ අතර ටෙහෙරාන් වැසියන් පවසන්නේ නගරයේ සෑම තැනකටම පාහේ අඟහරුවාදා රාත්‍රී බෝම්බ හෙළනු ලැබූ බවයි.
නේවාසික ගොඩනැගිලි ද ප්‍රහාරයන්ගේ ඉලක්ක වී තිබුණා.
එය යුද්ධයේ වඩාත්ම තීව්‍ර ගුවන් ප්‍රහාර ලෙස පෙන්ටගනය මෙන්ම ඉරාන වැසියන් ද පැවසුවා.

කෙසේ වෙතත් එම ප්‍රහාර නොතකා ඉරානය බදාදා ඊශ්‍රායලයට සහ මැදපෙරදිග පුරා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කළේ, ඔවුන්ට තවමත් ප්‍රතිප්‍රහාර එල්ල කළ හැකි බව පෙන්නුම් කරමින්.

මේ අතර ටෙහෙරානයේ බැංකු කාර්යාල සංකීර්ණයට ඊයේ රාත්‍රී එල්ල වූ ප්‍රහාරයෙන් පසු, ඉරානය එක්සත් ජනපදය හෝ ඊශ්‍රායලය සමඟ ව්‍යාපාර කරන බැංකුවලට ප්‍රහාර එල්ල කරන බව ඉරාන හමුදා විධානයේ මාධ්‍ය ප්‍රකාශක ඊබ්‍රහිම් සොල්ෆකාරි පැවසුවා.
මැදපෙරදිග පුරා සිටින ජනතාව බැංකු වලින් මීටර් 1,000 ක් දුරින් සිටිය යුතු බව ඔහු අනතුරු අඟවා තිබෙනවා.

Share