හෝමුස් සමුද්‍ර සන්ධිය ආසන්න මුහුදු කලාපයේ දී ඉරාන නෞකා 16කට ප්‍රහාර එල්ල කළ බව ඇමරිකා එක්සත් ජනපද හමුදාවේ මධ්‍යම අණදෙන විධානය නිවේදනය කරනවා.
මේ අතර එපික් ෆියුරි මෙහෙයුමේ පළමු දින 10 තුළ ඇමෙරිකානු සෙබලුන් 140 දෙනෙක් තුවාල ලබා ඇතැයි පෙන්ගනය පවසනවා.
එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ‌ඊයේ දිනයේ දීත් ඉරානයට පහර දුන් අතර එය යුද්ධයේ වඩාත්ම තීව්‍ර ගුවන් ප්‍රහාර ලෙස පෙන්ටගනය මෙන්ම ඉරාන වැසියන් ද පැවසුවා.
ඇමරිකා එක්සත් ජනපද හමුදාවේ මධ්‍යම අණදෙන විධානය පැවසුවේ හෝමූස් සමුද්‍ර සන්ධියේ මුහුදු බෝම්බ ඇතිරූ ඉරාන නෞකා 16ක් විනාශ කළ බවයි.
එම ප්‍රහාරයේ දර්ශන පෙලක් ද මධ්‍යම අණදෙන විධානය සිය සමාජ මාධ්‍ය ගිණුම් ඔස්සේ බෙදා ගත්තා.

මේ අතර ටෙහෙරාන් වැසියන් පවසන්නේ නගරයේ සෑම තැනකටම පාහේ අඟහරුවාදා රාත්‍රී බෝම්බ හෙළනු ලැබූ බවයි.
නේවාසික ගොඩනැගිලි ද ප්‍රහාරයන්ගේ ඉලක්ක වී තිබුණා.
පෙබරවාරි 28 වන දින එක්සත් ජනපද සහ ඊශ්‍රායල ගුවන් ප්‍රහාර ආරම්භ වූ දා සිට ඉරාන සිවිල් වැසියන් 1,300 කට වැඩි පිරිසක් මිය ගොස් ඇති බව ඉරානයේ එක්සත් ජාතීන්ගේ තානාපති අමීර් සයීඩ් ඉරාවානි පැවසුවා.
වාණිජ්‍ය සහ සේවා මධ්‍යස්ථාන” 1,600 ක් සහ වෛද්‍ය, අධ්‍යාපනික සහ බලශක්ති සැපයුම් පහසුකම් රැසක් සමඟ නිවාස 8,000 කට ආසන්න ප්‍රමාණයක් විනාශ වී ඇති බව ඔහු සඳහන් කළා.
ප්‍රහාර හේතුවෙන් මධ්‍යම ඉරානයේ ඉස්ෆහාන් නගරයේ යුනෙස්කෝ ලෝක උරුමයක් ලෙස සැලකෙන 17 වැනි සියවසට අයත් චෙහෙල් සොටවුන් මාලිගාව සහ එහි උද්‍යානයට දැඩි හානි සිදුව තිබෙනවා.
ප්‍රහාරය හේතුවෙන් මාලිගාව අභ්‍යන්තරයේ තිබූ ලී කැටයම්වලට හානි සිදුව ඇති අතර ජනේල වීදුරු ද බිඳී ගොස් ඇති බව සඳහන් .

අඟහරුවාදා සවස කටාර්හි සහ ඉරාකයේ කුර්දිස්තානයේ එක්සත් ජනපද කඳවුරුවලට මිසයිල ප්‍රහාර එල්ල කළ බව ඉරාන විප්ලවාදී ආරක්ෂක බලකාය පැවසුවා.
ඊට අමතරව එක්සත් අරාබි එමීර් සහ බහරේන් එක්සත් ජනපද කඳවුරු වෙත ඩ්‍රෝන ප්‍රහාර එල්ල කර තිබෙනවා.
බදාදා අලුයම මධ්‍යම ඊශ්‍රායලයට ද ඉරාන මිසයිල ප්‍රහාර මාලාවක් එල්ල වුණා.

මේ අතර එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ රාස් අල් කයිමා සිට වයඹ දෙසින් නාවික සැතපුම් 25 ක් පමණ දුරින් පිහිටි බහාලුම් නෞකාවකට ප්‍රහාරයක් එල්ව ඇති බව එක්සත් රාජධානියේ සමුද්‍රීය වෙළඳ මෙහෙයුම් ඒකකය සදහන් කරනවා
නෞකාවට හානි සිදුවී ඇතත් සියලුම කාර්ය මණ්ඩල සාමාජිකයින් ආරක්ෂිත බවද එම ඒකකය සඳහන් කළා.

මේ අතර පෙන්ටගනයට අනුව, ඉරාන ප්‍රහාරවලින් ඇමෙරිකානු සෙබලුන් 7 දෙනෙක් මිය ගොස් තිබෙනවා.
එපික් ෆියුරි මෙහෙයුමේ පළමු දින 10 තුළ තුවාල ලැබූ සංඛ්‍යාය 140 දෙනෙක්.
ඒ අතුරින් බහුතරයක් සුලු තුවාල ලැබූවන් බව සඳහන් කළ පෙන්ටගනයේ ප්‍රකාශක Sean Parnel පැවසුවේ 108 දෙනෙකු යළි යුද බිමට ගොස් ඇති බවයි.

මේ අතර ඊශ්‍රායලයේ යුද සැලසුම් පිළිබඳ හුරුපුරුදු මූලාශ්‍රයක් උපුටා දක්වමින් රොයිටර් පුවත් සේවය වාර්තා කළේ ට්‍රම්ප් ඕනෑම වේලාවක යුද්ධය අවසන් කළ හැකි යැයි උපකල්පනය කරමින්, ඊට පෙර හැකි තරම් හානියක් කිරීමට ඊශ්‍රායල හමුදාවට අවශ්‍ය වී ඇති බවයි.

ධවල මන්දිරය ඉක්මනින්ම යුද්ධය සඳහා ඩොලර් බිලියන 50 ක අමතර අරමුදල් ඉල්ලා සිටිනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව කොංග්‍රස් සභිකයින් කිහිප දෙනෙකු පවසා තිබෙනවා.
ඉරානයට එරෙහි ප්‍රහාරවල පළමු දින දෙක තුළ එක්සත් ජනපදය ඩොලර් බිලියන 5.6 ක අවි භාවිතා කළ බව මූලාශ්‍රයක් උපුටා දක්වමින් රොයිටර්ස් වාර්තා කළා.

මේ අතර ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ තවත් සාමාජිකයින් දෙදෙනෙකුට සරණාගතභාවය ඉල්ලා සිටීමට ඕස්ට්‍රේලියානු පොලිසිය උදව් කළ නමුත් එක් අයෙකු තම අදහස වෙනස් කර ඉරානයට ආපසු යාමට තීරණය කර ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරිය බදාදා පැවසුවා.
කණ්ඩායමේ ක්‍රීඩිකාවන් පස් දෙනෙකුට දිනකට පෙර සරණාගතභාවය ලබා දීමෙන් පසු, සාමාජිකාවක් නැවත සිය රට බලා යාමට ගත් තීරණය ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් පාර්ලිමේන්තුවේදී නිවේදනය කළා.

“ඊයේ රාත්‍රියේ රැඳී සිටීමට තීරණය කළ දෙදෙනාගෙන් එක් අයෙක් පිටව ගිය කණ්ඩායමේ සමහර සාමාජිකයින් සමඟ කතා කර ඇගේ අදහස වෙනස් කර තිබුණා,” “ඕස්ට්‍රේලියාවේ, මිනිසුන්ට ඔවුන්ගේ අදහස වෙනස් කළ හැකිය, මිනිසුන්ට ගමන් කළ හැකිය. එබැවින්, ඇය එම තීරණය ගෙන ඇති සන්දර්භයට අපි ගරු කරමු.”
ඉරානයට ආපසු යාමට තීරණය කළේ කවුරුන්ද යන්න පැහැදිලි නැති අතර එම සාමාජිකයා ඉරාන තානාපති කාර්යාලය අමතා ඔවුන්ගේ ස්ථානය දැනුම් දීමෙන් පසු ඉතිරි ක්‍රීඩකයින් ආරක්ෂිත ස්ථානයකට ගෙන ගොස් ඇති බව බර්ක් පැවසුවා.
මේ මස මුලදී ඕස්ට්‍රේලියාවේ පැවති කාන්තා ආසියානු කුසලාන තරඟයේදී ජාතික ගීය ගායනා කිරීම ප්‍රතික්ෂේප කිරීම සම්බන්ධයෙන් ඉරාන රාජ්‍ය රූපවාහිනිය කණ්ඩායම “ද්‍රෝහීන්” ලෙස ලේබල් කිරීමෙන් පසුව ක්‍රීඩිකාවන්ගේ ආරක්ෂාව පිළිබඳ කනස්සල්ල වැඩි වුණා.
සෙසු ක්‍රීඩකයින් සහ සහයක කාර්ය මණ්ඩලය ඊයේ සවස සිඩ්නි සිට ඉරානය බලා පිටත්ව ගියා.
ඔවුන්ට “සාමයෙන් හා විශ්වාසයෙන් යුතුව” නැවත රටට පැමිණෙන ලෙස ඉරාන බලධාරීන් ආරාධනා කළ බව, ඉරාන මාධ්‍ය වාර්තා කර තිබුණා.

Share