මැදපෙරදිග යුද්ධය තවදුරටත්

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව කළ එකාබද්ධ පළමු යුධ සැලැස්ම අසාර්ථක වීම හේතුවෙන් ඔවුන් දෙවන යුධ සැලසුම ලෙස ෛරානයේ සිවිල් නේවාසික ප්‍රදේශවලට ප්‍රහාර දියත් කර ඇති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසනවා.
ඉරාන විදේශ අමාත්‍යවරයා පවසන්නේ මැදපෙරදිග කලාපයේ ඇමරිකානු කඳවුරු, පහසුකම්, සැපයුම් ජාල, සහ වත්කම් වලට පහරදිම අඛණ්ඩව සිදු කරන බවයි.
මේ අතර ඉරාන ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා ගල්ෆ් කලාපයේ රටවලට සහාය වීමට විශේෂ නිරීක්ෂණ ගුවන් යානයක් සහ මිසයිල ලබා දීමට ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් තීරණය කර තිබෙනවා.

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව අසාර්ථක යුද්ධයක නිරතව සිටින බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසනවා.
මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු පවසා ඇත්තේ ඔවුන්ගේ එකාබද්ධ පළමු සැලැස්ම අසාර්ථක වීම නිසා දැන් ඔවුන් වෙනත් සැලසුමක් දියත් කිරිමට උත්සාහ කරමින් සිටින බවයි.
කෙසේ වෙතත් එයද අසාර්ථක එකක් බවයි ඔහු පවසන්නේ.
ඒ අනුව ඔවුන්ගේ දෙවන සැලැස්මට අනුව ඉරානයේ සිවිල් නේවාසික ප්‍රදේශවලට ප්‍රහාර දියත් කර ඇති බව විදේශ අමාත්‍යවරයා කියා සිටියා.
ඉරාන විදේශ අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේ ඇමරිකාව තමන්ට තවදුරටත් පහර දෙන්නේ නම්, ඉරානයට ඇමරිකානු භූමියට ළඟා විය නොහැකි වුව ද කලාපයේ ඔවුන්ගේ කඳවුරු, පහසුකම්, සැපයුම් ජාල, සහ වත්කම් වලට පහර දෙන බවයි
“අපි කරන්නේ අපව ආරක්ෂා කර ගැනීම පමණයි. අපි ආක්‍රමණයකටයි මුහුණ දී සිටින්නේ.
ඒ් නිසා දැනටමත් කලාපයේ ඇමරිකාවට හිතැති සෑම කෙනෙකුටම අනතුරු අඟවා තිබෙනවා”.
අබ්බාස් වැඩිදුරටත් කියා සිටියේ තමන් පෙර පැවති න්‍යෂ්ටික සාකච්ඡා වටවලදී ඉතා කටුක අත්දැකීමක් ලැබීමෙන් පසු, තවදුරටත් අමෙරිකාව සමඟ කතා කිරීම හෝ සාකච්ඡා කිරීම න්‍යාය පත්‍රයේ නොමැති බවයි.
ඉරානයේ න්‍යෂ්ටික ප්‍රශ්නය සාමකාමීව විසඳා සාකච්ඡාමය විසඳුමක් සොයා ගැනීමට අමරිකාව මීට පෙර පොරොන්දු වී දැන් ඔවුන් අපට පහර දීමට තීරණය කර ඇති බව ද ඔහු කියා සිටියා.
ඒ නිසාම යලි ඇමරිකානුවන් සමඟ සාකච්ඡා කිරිමට තමන් නොසිතන බවයි ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි පවසා ඇත්තේ.

මේ අතර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැයක පමණ කාලයක දුරකථන සාකච්ඡාවක් සිදුව ඇති බව වාර්තා වෙනවා.
එහිදී වර්තමාන යුද තත්ත්වයන් පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන් .
එහිදී රුසියානු ජනාධිපතිවරයා විසින් මැදපෙරදිග යුද්ධය අවසන් කිරීමට යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.
කෙසේ වෙතත් එම යෝජනා ජාත්‍යන්තර මාධ්‍ය තුලින් ප්‍රකාශකර නොමැති අතර ඒ සඳහා පිළිතුරු ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, යුක්‍රේන – රුසියානු යුද්ධයට දීර්ඝ කාලීන විසඳුමක් තමා බලාපොරොත්තු වන බවයි.
මෙම සංවාද‍ය අවසන් කර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මාධ්‍ය හමුවේ අදහස් පළ කලා
“ජනාධිපති පුටින් සමඟ මට ඉතා හොඳ සංවාදයක් තිබුණා…
අපි කතා කළේ යුක්රේනය ගැන, ඒක කවදාවත් ඉවර නොවන සටනක් විතරයි…
අපි පැහැදිලිවම මැද පෙරදිග ගැන කතා කළා, ඔහුට උදව් කරන්න ඕන.
යුක්රේන-රුසියා යුද්ධය අවසන් කිරීමෙන් ඔබට වඩාත් උදව් කළ හැකි යැයි මම කිව්වා.
ඒක වඩාත් ප්‍රයෝජනවත් වේවි.
නමුත් අපි ඉතා හොඳ සංවාදයක් පැවැත්වුවා, ඔහුට ඉතා ඵලදායී වීමට අවශ්‍යයි”
මේ අතර ඉරානයට අමෙරිකාව විසින් එල්ල කරන ප්‍රහාර තව කොපමණ කාලයක් පවතිනු ඇත්ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළා.
ඊට පිළිතුරු දෙමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවයි.
කෙසේ වෙතත් ඔහු එහි දි කියා සිටියේ එය මෙම සතිය තුළ අවසන් නොවනු ඇති බවයි.
ඉරානය සතුව පැවති න්‍යෂ්ටික සහ මිසයිල ස්ථාන සියල්ල මේ වන විට විනාශ කර ඇති අතර ඔවුන්ට කුඩා යුද ශක්තියක් පමණක් ඉතිරිව ඇති බවත් එය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියා.

මේ අතර ඉරානයට එරෙහි අමෙරිකානු ඊශ්‍රායල් යුද්ධයේ 10වන දිනයේත් ටෙහෙරානයට වඩාත්ම තීව්‍ර බෝම්බ ප්‍රහාර රැසක් එල්ල වී ඇති බව විදේස මාධ්‍ය වාර්තා කරනවා. මේ අතර අඛණ්ඩ බෝම්බ ප්‍රහාර ද නොතකා, ඉරාන ජාතිකයන් දහස් ගණනක් ටෙහෙරානයට රැස්ව නව උත්තරීතර නායක මොජ්තාබා කමේනිට සිය සහයෝගීතාවය පෙන්වමින් සිටින බව වාර්තා වෙනවා.

මේ අතර ඉරාන ප්‍රහාරවලින් ආරක්ෂා වීම සඳහා ගල්ෆ් කලාපයේ රටවලට සහාය වීමට ඔස්ට්‍රේලියාව තීරණය කර තිබෙනවා.
ඒ අනුව විශේෂ නිරීක්ෂණ ගුවන් යානයක් සහ මිසයිල ලබා දීමට ඔස්ට්‍රේලියානු අගමැති ඇන්තනි ඇල්බනීස් පියවර ගෙන ඇති බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව කලාපය ආරක්ෂා කිරීම සඳහා ඕස්ට්‍රේලියානු ආරක්ෂක හමුදාව එක්සත් අරාබි එමීර් රාජ්‍යයට E-7A වෙජ්ටේල් ගුවන් යානයක් ද යොදවන බව අගමැතිවරයා සදහන් කළා.
වෙජ්ටේල් යානය “දිගු දුර ඔත්තු බැලීමේ හැකියාවන්” සපයන අතර එය ගල්ෆ් කලාපයට ඉහළින් ඇති ගුවන් අවකාශය ආරක්ෂා කිරීමට සහ සුරක්ෂිත කිරීමට උපකාරී වනු ඇති බවටයි ඔස්ට්‍රෙලියානු අගමැතිවරයා පැවසුවේ.
රුසියාවට එරෙහි යුක්රේන යුද්ධයේ දීත් වෙජ්ටේල් යානයක් යුක්රේනයට ලබා දී තිබෙනවා.

මේ අතර ලොව ප්‍රධානතම ඉන්ධන සැපයුම් මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කර ගැනීම සඳහා නාවික හමුදා බලඇණියක් එම කලාපයට යෙදවීමට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගෙන් නියෝග කර තිබෙනවා.
ඒ අනුව, ෆ්‍රිගේට් යාත්‍රා 8ක්, හෙලිකොප්ටර් වාහක නෞකා 2ක් සහ ප්‍රංශයේ ප්‍රධානතම නෞකාව වන ‘චාල්ස් ඩි ගෝල්’ Charles de Gaulle ගුවන් යානා ප්‍රවාහන නෞකාව මෙලෙස යෙදවීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.

මේ අතර ලෙබනන් ජනාධිපති ජෝසප් අවුන් පූර්ණ සටන් විරාමයක් ඉල්ලා තිබෙනවා
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ සිටින හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කරගනිමින් ප්‍රහාර දියත් කරමින් සිටින අතර ගොඩබිමෙන්, මුහුදෙන් සහ ගුවනින් සිදුකරන ප්‍රහාර නතර කර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙසටයි ලෙබනන් ජනාධිපතිවරයා ඉල්ලිමක් කර ඇත්තේ.
ඊයේ වන විට ලෙබනනයේ ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 486 දෙනෙකු මියගොස් තවත් 1,313 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මේ අතර ඉරානය විසින් අද අලුයම බහරේනයේ නේවාසික ගොඩනැගිල්ලකට එල්ල කල මිසයිල ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා.
තවත් පිරිසක් තුවාල ලබා ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර ඉරානය සමඟ ඇති වූ යුද්ධය හේතුවෙන් පසුගිය පැය 24 තුළ ඊශ්‍රාලයේ පුද්ගලයින් 191 දෙනෙකුට තුවාල සිදුව රෝහල් ගත කර ඇති බව ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල් පුවත් එජන්සිය වාර්තා කරනවා.
රෝහල් ගත කර ඇති පිරිස අතර සිවිල් වැසියන්ට අමතරව සොල්දාදුවන් සිටින බවයි වාර්තා කරන්නේ.

මේ අතර සෞදි අරාබියේ අල්-ඛර්ජ් ප්‍රදේශයට නැගෙනහිරින් පියාසර කරමින් තිබූ තවත් ඩ්‍රෝන යානයක් සිය හමුදාව විසින් විනාශ කළ බව සෞදි ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කළා. මේ අතර ඉරාකයේ කුර්දිස්ථාන කලාපයේ පිහිටි අමෙරිකානු හමුදා මූලස්ථානයකට සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ කොන්සල් කාර්යාලයට ඉරාන විප්ලවීය බලකාය විසින් අද පෙරවරුවේ ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

මේ අතර ඊශ්‍රායලය විසින් අඛණ්ඩව ගුවන් ප්‍රහාර දියත් කර ඇති බැවින් දකුණු ලෙබනනයේ ජනතාව ට එම ප්‍රදේශවලින් ඉවත් වන ලෙසට ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශක අවිචේ අඩ්‍රේ නියෝග කර තිබෙනවා.
X හි ගිණුමෙහි සටහනක් තබමින් ඔහු සඳහන් කර ඇත්තේ එම කලාපයේ ක්‍රියාකාරකම් හේතුවෙන් ලිටානි ගඟට දකුණින් හිස්බුල්ලාවරුන්ට එරෙහිව ඊශ්‍රායලය ප්‍රහාර දියත් තර ඇතිබවයි.
“ඔබේ නිවාස වහාම ඉවත් කර ලිටානි ගඟට ඇති උතුරු දෙසට වහාම යන ලෙස අපි ඔබට අපගේ හදිසි ඉල්ලීම නැවත අවධාරණය කරමු,” යනුවෙන්ද එහි සදහන්.

මේ අතර අමෙරිකාවේ පිහිටි ප්‍රමුඛ පෙළේ වාණිජ චන්ද්‍රිකා සමාගමක් වන ‘Planet Labs’ මැදපෙරදිග කලාපයට අදාළ චන්ද්‍රිකා ඡායාරූප ප්‍රසිද්ධ කිරීමේ කාලය සති දෙකක් දක්වා ප්‍රමාද කිරීමට තීරණය කර තිබෙනවා.
මීට පෙර දින 4ක්ව පැවති මෙම ප්‍රමාද කාලය තවත් දින 14ක් දක්වා දීර්ඝ කර ඇත්තේ.
මෙම ඡායාරූප සතුරු පාර්ශවයන් අතට පත්වුවහොත්, ඒවා අමෙරිකානු හමුදා, නේටෝ හමුදා හෝ සිවිල් වැසියන් ඉලක්ක කර ප්‍රහාර එල්ල කිරීමට යොදාගත හැකි බවට සමාගම බිය පළ කරීම හේතුවෙන් මෙලෙස අත්හිටුවා ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ඊශ්‍රායල් අගමැති බෙන්ජමින් නෙතන්යාහු ද ජාතික සෞඛ්‍ය මෙහෙයුම් මධ්‍යස්ථානයට පැමිණ මාධ්‍ය වෙත අදහස් දක්වා සිටියා.
“අපගේ අරමුණ ඉරාන ජනතාවට අධිපති පාලනයෙන් නිදහස් වීමට අවස්ථාව ලබා දීමයි.
නමුත් අවසානයේ එය තීරණය කල යුත්තේ ඔවුන්මයි.
නමුත් මෙතෙක් අප සිදු කළ ක්‍රියාමාර්ග ඔවුන්ට දැඩි බලපෑමක් ඇති කර තිබෙනවා – ඒ වගේම අපගේ ක්‍රියා ඉදිරියටත් පවතිනවා.”

Share