අලුත් අවුරුද්දට කිරිබත් කන්න නැකතක් නැතිවෙයිද?

මෙවර සිංහල හා දෙමළ අලුත් අවුද්ද සඳහා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව විසින් නැකත් සීට්ටුවක් නිකුත් නොකීරීමට තීරණය කර තිබෙනවා.
රාජ්‍ය නැකැත් කමිටුවේ ජ්‍යෝතීර්වේදීන් කණ්ඩායම් දෙකක් අතර අලුත් අවුරුදු නැකත් සම්බන්ධයෙන් ඇති පරස්පරතාව මෙම තත්ත්වයට හේතුවයි.

සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද මෙරට ප්‍රධානතම සංස්කෘතික උත්සවයයි.
අලුත් අවුරුද්ද සැමරීම මුලුමනින්ම නැකත් මත පදනම් වී තිබෙනවා.
සංස්කෘතික දෙපාර්තමේන්තුවේ රාජ්‍ය නැකත් කමිටුව විසින් අලුත් අවුරුදු නැකැත් සීට්ටුව සකස් කිරීම මෙතෙක් පැවති සම්ප්‍රදායයි.
නමුත් මාර්තු මාසය ද එළැඹ තිබියදී සංස්කෘතික‍ දෙපාර්තමේන්තුවෙන් තවමත් නැකත් සිට්ටුවක් නිකුත් කර නොමැති පසුබිමක ජ්‍යෝතීර්වේදීන්ගේ විද්වත් කමිටුව නම් සංවිධානයක් අද මාධ්‍ය හමුවක් කැඳවා තිබුණා.

කෙසේ වෙතත් ටීවී සුප්‍රීම් නිවුස් කළ විමසීමක දී සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ප්‍රින්ස් සේනාධීර මහතා සඳහන් කළේ සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව මේ වසරේ නැකැත් සීට්ටුවක් ඉදිරිපත් නොකිරීමට තීරණය කර ඇති බවට පළවන මාධ්‍ය වාර්තා සාවද්‍ය බවයි.
2024 වසරේ ඇතිවූ මෙවැනි මතභේදාත්මක තත්ත්වයකදී හිටපු සංස්කෘතික ඇමති විදුර වික්‍රමනායක මහතා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ පැවති නැකැත් කමිටුව විසුරුවා හැරි අතර, මේ දක්වා ඒ කමිටුව ක්‍රියාත්මක නොවන බවද ලේකම්වරයා සඳහන් කළා.
උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් සංස්කෘතික කටයුතු අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා පැවැසුවේ අවුරුදු නැකැත් සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව අතර එකඟතාවක් ඇති කර ගැනීමට අමාත්‍යංශය සංවාදයක් ආරම්භ කර ඇති බවයි.

මේ වසරේ දින දර්ශනයේ සටහන් කර ඇති වෙසක් පුර පසලොස්වක පොහොය සම්බන්ධයෙන් ද නැකැත් ගැටලුවක් මීට පෙර පැන නැගුණා.
ඒ සම්බන්ධයෙන් ත්‍රෛනිකායික මහ නා හිමිවරුන් කළ ඉල්ලීම අනුව වෙසක් පොහොය සැමරෙන දිනය වෙනස් කිරීමට බුද්ධ ශාසන අමාත්‍යංශය පසුව තීරණය කළා.

Share