ඉන්ධන ගාස්තු වැඩි කෙරේ

ඉන්ධන අර්බුදය කළමනාකරණය කර ගැනීමට මිල වැඩි කිරීම හැර වෙනත් විකල්පයක් නැතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසනවා.
කැබිනට් තීරණ දැනුම් දීමේ ප්‍රවෘත්ති සාකච්ඡාවේ දී ඔහු පැවසුවේ ලෝක වෙළඳපොළේ තවදුරටත් ඉන්ධන මිල ඉහළ ගියහොත් ඉන්ධන වෙනුවෙන් සහනාධාරයක් ලබාදීමක් සම්බන්ධයෙන් රජය සලකා බලමින් සිටින බවයි.
ඊයේ රාත්‍රී සිට මෑත ඉතිහාසයේ වැඩිම මුදලකින් ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් නැගුණු ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ අදහස් පල කළා.
ඉන්ධන මිල සංශෝධනය අනුව සියලු ඉන්ධන මිල ගණන් ඉහළ නංවනු ලැබුවා.

ඊයේ මධ්‍යම රාත්‍රියේ සිට ඉන්ධන මිල ගණන් ඉහළ නංවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කළේ මෙවන් පසුබිමකයි.
මෙම ඉන්ධන මිල ගණන් ඉහළ දැමීමට සමානව IOC , සිනොපෙක් , RM PARKS යන සමාගම්ද ඉන්ධන මිල ගණන් ඉහළ නංවා තිබෙනවා.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 22කින් ඉහළ දමා ඇති අතර එහි නව මිල රුපියල් 303ක්.
සුපිරි ඩීසල් ලීටරයක මිල ඉහළ නංවනු ලැබ ඇත්තේ රුපියල් 24කින්
එහි නව මිල රුපියල් 353ක්.
ඔක්ටේන් 95 වර්ගයේ පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 25කින් ඉහළ දමා තිබෙනවා.
එහි නව මිල වන්නේ, රුපියල් 365ක්.
රුපියල් 24කින් ඉහළ දමා ඇති ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක නව මිල රුපියල් 317ක් වනවා.
ලංකා භූමිතෙල් මිල ඉහළ නංවා ඇත්තේ රුපියල් 13කින්.
මැදපෙරදිග යුද ගැටුම් ආරම්භ වූ පෙබරවාරි 28 වැනිදා සිට මෙරට ජනතාව ක්ෂණික මිලදී ගැනීම් සඳහා පෙළඹීමත් සමග රට තුළ ඉන්ධන පෝලිම් පවා නිර්මාණය වුණා.
ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව එම අවස්ථාවේදී ප්‍රකාශ කළේ රට තුළ ඉන්ධන අර්බුදයක් ඇති වීමට කිසිදු ඉඩක් නොමැති බවයි.
ඒ අනුව අතිරේක සැපයුම් වෙළෙඳපොළට නිකුත් කළ අතර දින දෙකක් වැනි කාලයක් තුළ පෝලිම් අවසන් වුණා.
පසුගිය 3 වැනිදා ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කළේ හදිසි ඉන්ධන මිල සංශෝධනයක් අවශ්‍ය නොවන බවයි.

නමුත් වසර 2 කට පසු වැඩිම අගයකින් ඉන්ධන මිල ඉහළ නැංවීමට ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ කටයුතු කර තිබෙනවා. ‍
අද මාධ්‍ය හමුවක් කැඳවමින් ඛනිජ තෙල් තොග පර්යන්ත සමාගමේ කළමනාකාර අධ්‍යක්ෂ මයුර නෙත්ති කුමාරගේ මහතා පැවසුවේ එකවරම ඉන්ධන මිල ඉතා විශාල වශයෙන් වැඩිවීම වළක්වා ගැනීම සඳහා මෙම පියවර ගත් බවයි.

කෙසේ වෙත් එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා චෝදනා කළේ රට තුළ ඉන්ධන සංචිත පවතින අවස්ථාවක මෙම මිල ඉහළ දැමීම තුළින් රජය අයතු ලෙස රුපියල් බිලියන 7.1 ක් උපයාගෙන ඇති බවයි.

කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසුවේ ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන් ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක පෞද්ගලික සමාගම් අධික ලාභ ලැබීම වැළක්විය නොහැකි බවයි. කෙසේ නමුත් ඉන්ධන තොග සංචිත කළමනාකරණය සඳහා විදෙස් රටවල් මිල වැඩි කිරීමෙන් ඔබ්බට ගිය ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙනවා.

පාකිස්ථාන අගමැති ෂෙබාස් ෂරීෆ් සඳුදා රාත්‍රියේ ජාතිය අමතමින් තෙල් සංචිත ආරක්ෂා කර ගැනීම සහ ඉන්ධන අර්බුදය කළමනාකරණය කර ගැනීම සඳහා වන සැලසුම ඉදිරිපත් කළා.
මෙම පියවර අතර, සියලුම රජයේ කාර්යාල සඳහා වැඩ කරන දින හතරක් ප්‍රකාශයට පත් කළ අතර අතිරේක දිනය නිවාඩු දිනයක් ලෙස සිකුරාදා දිනය නම් කෙරුණා.
රටේ සියලුම පාසල් සහ විශ්ව විද්‍යාල ඉදිරි සති දෙක සඳහා වසා තැබීමට ද පාකිස්ථාන රජය තීරණය කර තිබෙනවා.
ඉදිරි මාස දෙක සඳහා සියලුම රජයේ සහ නිල වාහන සඳහා ඉන්ධන සියයට 50 කින් අඩු කිරීමටත් වාහන භාවිතය සියයට 60කින් අඩු කිරීමටත් යෝජනා කෙරුණා.
ඉදිරි මාස දෙක සඳහා කිසිදු ෆෙඩරල් අමාත්‍යවරයෙකුට, උපදේශකයින්ට හෝ විශේෂ සහායකයින්ට ඔවුන්ගේ වැටුප් නොලැබෙන බව පැවසූ අග්‍රාමාත්‍යවරයා, සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ වැටුප්වලින් සියයට 25 ක කප්පාදුවක් ද නිවේදනය කළා.

මේ අතර පිලිපීනයද බලශක්ති ඉතිරිකිරීමේ අරමුණින් දින 4ක වැඩකරන සතියක් ප්‍රකාශයට පත් කරනු ලැබුවා. මේ අතර ඉන්ධන සැපයුම් සහතික කිරීම සඳහා වියට්නාමය ඉන්ධන සඳහා ආනයන තීරුබදු ඉවත් කිරීමට සැලසුම් කරනවා. මේ අතර ඉන්දුනීසියාව තම රාජ්‍ය අයවැයෙන් ඉන්ධන සහනාධාර සඳහා වෙන් කර ඇති මුදල වැඩි කර තිබෙනවා. ඒ ආකාරයේ විකල්පයක් කෙරෙහි අවධානය යොමු නොකරන්නේ ඇයි දැයි මාධ්‍යවේදීන් කැබිනට් ප්‍රකාශකගෙන් ප්‍රශ්න කළා.

මේ අතර ඉහළ ගිය ඉන්ධන මිලට සාපේක්ෂව බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට රජයට සතියක කාලයක් ලබා දෙන බව පෞද්ගලික බස් හිමිකරුවන්ගේ සංගම් පවසනවා.
කෙසේ වෙතත ජාතික ගමනාගමන කොමිෂන් සභාව නිවේදය කර ඇත්තේ මෙම අවස්ථාවේ දී ගාස්තු වැඩි නොකරන බවයි.

ඉන්ධන මිල ඉහළ නැංවීමට සාපේක්ෂව බස් ගාස්තු වැඩි කිරීමක් ඉල්ලා සිටීම සම්බන්ධයෙන් පෞද්ගලික බස් හිමිකරුවන් නියෝජනය කරන සංගම් කිහිපයක් අද පෙරවරුවේ සාකච්ඡාවක නිරත වුණා.

වාර්ෂිකව බස් ගාස්තු සංශෝධනය ජාතික ප්‍රතිපත්තිය අනුව සෑම ජූලි මාසයක දීම සිදුවනවා.
අවසන් වරට පසුගිය වසරේ ජූලි මාසයේ දී බස් ගාස්තු සියයට 0.55කින් අඩු කළ අතර අවම ගාස්තුව වෙනස් කෙරුණේ නැහැ.
මේ අතර බස්නාහිර පළාත තුළ ධාවනය කෙරෙන ත්‍රි රෝද රථ ගාස්තු සමාලෝචන කමිටුව ලබන 18 වැනිදා රැස්වී නව ගාස්තු ප්‍රකාශයට පත් කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති විශ්‍රාමික කමාන්ඩර් ගාමිණි ජාසිංහ මහතා ප්‍රකාශ කරනවා.
සමාලෝචන කමිටුව 2024 අවසන් වරට රැස්වී දැනට පවතින පළමු කිලෝමීටරයට රුපියල් 100 සහ දෙවන කිලෝමීටරයේ සිට රුපියල් 85 ක් ලෙස ගාස්තු නියම කර තිබෙනවා.
ඉන්ධන මිල සංශෝධනයත් සමඟ ත්‍රි රෝද රථ හිමියන්ගෙන් ලැබුණු දැඩි ඉල්ලීම මත යළි ගාස්තු සංශෝධනයකට තීරණය කළ බව ඔහු සඳහන් කළා. කෙසේ වෙතත් ඇතැම් ත්‍රි රෝද රථ වෘත්තිකයන්ගේ සංගම් දැනටමත් ගාස්තු වැඩිවීම ප්‍රකාශ කර අවසන්. පාසල් ළමුන් ප්‍රවාහන ගාස්තු ද ඉහළ නැංවීමට තීරණය කර තිබෙනවා.

Share