විදුලි සේවක වර්ජනය තවදුරටත්

ලංකා විදුලිබල මණ්ඩලය ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ග හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයක විදුලි බිඳ වැටීම් වාර්තා වනවා.
ලංකා විදුලි බල මණ්ඩල ජාතික සේවක සංගමය පවසන්නේ මෙම බිඳ වැටීම් වල වගකීම සම්පූර්ණයෙන් රජය භාරගත යුතු බවයි.
ලංකා විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ස්ථාපිත නව ආයතන වෙත සේවකයින් අනුයක්ත කිරීමේදී ක්‍රමවත් පත්වීම් ලිපි ලබානොදිම ඇතුළු ඉල්ලීම් 8ක් මුල් කරගනිමින් විදුලිබල මණ්ඩල සේවකයින් ආරම්භ කළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක් මේ වන විට ක්‍රියත්මකයි.
ඔවුන් සිය ඉල්ලීම් සඳහා සාධනීය පිළිතුරක් ලබා දීමට රජයට පැය 48 ක කාලයක් ලබා දී ඇති අතර එසේ නොලැබුණහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග තවත් දැඩි කරන බවයි පවසන්නේ.

දශක 5කට ආසන්න ඉතිහාසයක් හිමි ලංකා විදුලිබල මණ්ඩලය පෙරේදා මධ්‍යම රාත්‍රියෙන් අහෝසි වුනා.
එම මණ්ඩලය ප්‍රතිව්‍යුහගතකරණය යටතේ සමාගම් 6 කට බෙදීමේ ක්‍රියාවලිය බලාත්මක කෙරුණේ ඊයේ සිටයි.
කෙසේ වෙත්‍යත් විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසු ස්ථාපිත නව ආයතන වෙත සේවකයින් අනුයක්ත කිරීමේදී ක්‍රමවත් පත්වීම් ලිපි ලබා නොදිම ඇතුළු ඉල්ලීම් 8ක් මුල් කරගනිමින් ආරම්භ කළ පැය 24ක වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය ඊයේ සවසට 3ට ආරම්භ වූනා.
ඒ නෞව මෙම වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයට විදුලි බල මණ්ඩලයේ ජාතික සේවක සංගමය ඇතුළු වෘත්තීය සමිති 25 ක් එක්ව සිටිනවා.
විදුලි වෘත්තීය සමිති පවසන්නේ ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය තුළ සේවක අයිතිවාසිකම් සහ රැකියා සුරක්ෂිතභාවය පිළිබඳ අවනිශ්චිතතාව මුල් කර ගනිමින් මෙම වර්ජනය ඇරඹු බවයි.
මේ වන විට බලාගාර සහ අනෙකුත් මෙහෙයුම් කටයුතු පවත්වාගෙන යෑමට ඔවුන් තීරණය කර ඇති අතර, කොළඹ ජාතික රෝහල, මහනුවර සහ කරාපිටිය රෝහල් මෙන්ම යුද හමුදා මුලස්ථානයට බාධාවකින් තොරව විදුලිය ලබාදීමට කටයුතු කරන බවටයි තීරණය කර ඇත්තේ
ඒ අනුව බිල් ගෙවීම් පාරිභෝගික සේවාව කටයුතු හැරෙන්නට අනෙකුත් සියලු සේවාවන්ගෙන් එම සේවකයන් ඉවත්ව බිඳවැටීම්, නඩත්තු කටයුතු සියල්ල නතර කර තිබෙනවා
ඒ අනුව දිවයිනේ ප්‍රදේශ කිහිපයක වාර්තා වූ විදුලිය බිඳවැටීම් මේ වනතෙක් යථා තත්ත්වයට පත් කර නැහැ.
වැඩවර්ජනය හේතුවෙන් ඒවා යථා තත්ත්වයට පත්කිරීමට යම් කාලයක් ගතවනු ඇති බවටයි එම විදුලි වෘත්තීය සමිති පවසන්නේ.
අද පස්වරු 3 වන විට පැය 24ක වර්ජනය ක්‍රියාත්මක වුවද රජයට හෙට පස්වරු 3 තෙක් පැය 48 ක කාලයක් ලබා දෙන අතර සිය ඉල්ලීම් සඳහා සාධනීය පිළිතුරක් නොලැබුණහොත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය දැඩි කරමින් සියලුම සේවකයින් සේවයෙන් ඉවත් කරගන්නා බවට ලංකා විදුලි බල මණ්ඩලයේ ජාතික සේවක සංගමය රජයට අනතුරු අඟවනවා.

අද පෙරවරුව වන විට කොළඹ 9, කොළඹ 14 සහ ගම්පහ ප්‍රදේශ කිහිපයක විදුලි බිඳවැටීම් වාර්තා වි තිබුණා. විදුලි බල මණ්ඩල උතුරුමැද පළාත් නියෝජ්‍ය සාමාන්‍යධිකාරී කාර්යාලයේ පවතින විදුලි බිල් ගෙවීම් අංශය ක්‍රියාත්මක අතර නඩත්තු අංශය හා ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලයේ සේවාවන් සියල්ලන්ගෙන්ම සේවකයන් ඉවත්ව තිබෙනවා
පාරිභෝගික ජනතාව අදහස් දක්වමින් කියා සිටියේ තමන්ට කිසිදු අපහසුතාවකින් තොරව විදුලි බිල් ගෙවීමට හැකියාව පැවති බවයි.

මේ අතර විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමයේ ජාතික ලේකම් සංජීව ධම්මික මහතා පෙන්වා දෙන්නේ පාරිභෝගිකයාට පැමිණිලි සඳහා තිබු ක්ෂණික දුරකථන අංකද මේ වන විට විසන්ධී වී ඇති බැවින් පාර්භෝගිකයින් ද මේ වන විට අපහසුතාවයට පත් කර ඇති බවයි.

Share