මැද පෙරදිග ගැටුම අවසන් කිරීමට පුටින්ගෙන් යෝජනා මාලාවක්

ඉරානය සමග පවතින යුද්ධය අවසන් කිරීමට රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් විසින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් වෙත යෝජනා කිහිපයක් ඉදිරිපත් කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ සම්බන්ධයෙන් දෙරටේ රාජ්‍ය නායකයින් දෙදෙනා පැයක පමණ කාලයක දුරකථන සාකච්ඡාවක නිරත වූ බවයි ඔවුන් වාර්තා කරන්නේ.

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අතර පැයක පමණ කාලයක දුරකථන සාකච්ඡාවක් සිදුව ඇති බව වාර්තා වෙනවා.
එහිදී වර්තමාන ජාත්‍යන්තර යුද තත්ත්වය පිළිබදව දීර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇති බව සඳහන් .
එහිදී රුසියානු ජනාධිපතිවරයා විසින් මැදපෙරදිග යුද්ධය අවසන් කිරීමට යෝජනා කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා.
කෙසේ වෙතත් එම යෝජනා ජාත්‍යන්තර මාධ්‍ය තුලින් ප්‍රකාශකර නොමැති අතර ඒ සඳහා පිළිතුරු ලෙස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සඳහන් කර ඇත්තේ, යුක්‍රේන – රුසියානු යුද්ධයට දීර්ඝ කාලීන විසඳුමක් තමා බලාපොරොත්තු වන බවයි.
මේ අතර මෙම සංවාද අවසාන කර අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විදෙස් මාධ්‍ය හමුවේ අදහස් පළ කලා
“ජනාධිපති පුටින් සමඟ මට ඉතා හොඳ සංවාදයක් තිබුණා…
අපි කතා කළේ යුක්රේනය ගැන, ඒක කවදාවත් ඉවර නොවන සටනක් විතරයි…
අපි පැහැදිලිවම මැද පෙරදිග ගැන කතා කළා, ඔහුට උදව් කරන්න ඕන.
යුක්රේන-රුසියා යුද්ධය අවසන් කිරීමෙන් ඔබට වඩාත් උදව් කළ හැකි යැයි මම කිව්වා.
ඒක වඩාත් ප්‍රයෝජනවත් වේවි.
නමුත් අපි ඉතා හොඳ සංවාදයක් පැවැත්වුවා, ඔහුට ඉතා ඵලදායී වීමට අවශ්‍යයි”
මේ අතර ඉරානයට අමෙරිකාව විසින් එල්ල කරන ප්‍රහාර තව කොපමණ කාලයක් පවතිනු ඇත්ද යන්න සම්බන්ධයෙන් මාධ්‍යවේදියෙකු ප්‍රශ්න කළා.
ඊට පිළිතුරු දෙමින් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියේ මැදපෙරදිග කලාපයේ පවතින යුද්ධය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවයි.
කෙසේ වෙතත් ඔහු එහි දි කියා සිටියේ එය මෙම සතිය තුළ අවසන් නොවනු ඇති බවයි.
ඉරානය සතුව පැවති න්‍යෂ්ටික සහ මිසයිල ස්ථාන සියල්ල මේ වන විට විනාශ කර ඇති අතර ඔවුන්ට ස්වල්ප යුද ශක්තියක් පමණක් ඉතිරිව ඇති බවත් එය ඉතා ඉක්මනින් අවසන් වනු ඇති බවත් අමෙරිකානු ජනාධිපති ඩොනල් ට්‍රම්ප් ප්‍රකාශ කර සිටියා.

මේ අතර ලෙබනන් ජනාධිපති ජෝසප් අවුන් පූර්ණ සටන් විරාමයක් ඉල්ලා තිබෙනවා
ඊශ්‍රායලය විසින් ලෙබනනයේ සිටින හිස්බුල්ලා සංවිධානය ඉලක්ක කරගනිමින් ප්‍රහාර දියත් කරමින් සිටින අතර ගොඩබිමෙන්, මුහුදෙන් සහ ගුවනින් සිදුකරන ප්‍රහාර නතර කර සටන් විරාමයක් ප්‍රකාශයට පත් කරන ලෙසටයි ලෙබනන් ජනාධිපතිවරයා ඉල්ලිමක් කර ඇත්තේ.
ඊයේ වන විට ලෙබනනයේ ඇති වූ ගැටුම්වලින් පුද්ගලයින් 486 දෙනෙකු මියගොස් තවත් 1,313 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මේ අතර ඉරානය විසින් අද අලුයම බහරේනයේ නේවාසික ගොඩනැගිල්ලකට එල්ල කල මිසයිල ප්‍රහාරයකින් එක් පුද්ගලයෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කලා.
තවත් පිරිසක් තුවාල ලබා ඇති බව එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍යාංශය ප්‍රකාශ කර තිබෙනවා.

මේ අතර අමරිකාව සහ ඊශ්‍රයලය ආරම්භ කල යුද්ධය අවසන් කිරීම පිළිබඳ තීරණය ගන්නේ ඉරානය බව ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය පවසනවා.
ඒ අමෙරිකානු ජනපති ට්‍රම්ප්ගේ ප්‍රකාශයට ප්‍රතිචාර දක්වමින්
ඉරාන රජයේ ප්‍රකාශ උපුටා දක්වමින් අල් ජසීරා ප්‍රවෘත් එජන්සිය වාර්තා කරන්නේ ඇමරිකානු සහ ඊශ්‍රායල ඉලක්ක වෙත එල්ල කරන මිලිටරි ක්‍රියාමාර්ග නතර කරන්නේ කවදාද යන්න තීරණය කරන්නේ ඉරානය බව පවසා ඇති බවයි.
මෙහිදී ඉරානයේ ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකාය අවධාරණය කර ඇත්තේ, කලාපයේ අනාගතය දැන් ටෙහෙරාන හමුදාවන්ගේ අතේ ඇති බවයි.

මේ අතර ලොව ප්‍රධානතම ඉන්ධන සැපයුම් මාර්ගයක් වන හෝමූස් සමුද්‍ර සන්ධිය යළි විවෘත කර ගැනීම සඳහා නාවික හමුදා බලඇණියක් එම කලාපයට යෙදවීමට ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රොන්ගෙන් නියෝග කර තිබෙනවා.
ඒ අනුව, ෆ්‍රිගේට් යාත්‍රා 8ක්, හෙලිකොප්ටර් වාහක නෞකා 2ක් සහ ප්‍රංශයේ ප්‍රධානතම නෞකාව වන ‘චාල්ස් ඩි ගෝල්’ Charles de Gaulle ගුවන් යානා ප්‍රවාහන නෞකාව මෙලෙස යෙදවීමට නියමිතව තිබෙන බවයි වාර්තා වන්නේ.

එක්සත් අරාබි එමීර් සන්නද්ධ හමුදාවන්ට අයත් හෙලිකොප්ටර් යානයක් අනතුරට ලක්වීමෙන් එහි ගමන් කළ නිලධාරීන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව එරට ආරක්ෂක අමාත්‍යාංශය නිවේදනය කරනවා.
මෙම අනතුර සිදුව ඇත්තේ යානයේ ඇති වූ කාර්මික දෝෂයක් හේතුවෙන් බවයි ආරක්ෂක අමාත්‍යාංශය පවසන්නේ.

මේ අතර ඉරාන කාන්තා පාපන්දු ක්‍රීඩිකාවන් පස් දෙනෙකුට ඕස්ට්‍රේලියාව සරණාගතභාවය ලබා දී තිබෙනවා.
ඒ අනුව තරඟයකට පෙර ජාතික ගීය ගායනා කිරීම ප්‍රතික්ෂේප කිරීම නිසා යුද කාලීන ද්‍රෝහීන් ලෙස ලේබල් කිරීමෙන් පසු සරණාගතභාවය ඉල්ලා සිටි ඉරාන කාන්තා පාපන්දු කණ්ඩායමේ සාමාජිකයින් පස් දෙනෙකුට ඕස්ට්‍රේලියාව මානුෂීය වීසා ලබා දී ඇති බවයි වාර්තා වන්නේ.
එරට අගමැති ඇන්තනි ඇල්බනීස් මේ සම්බන්ධයෙන් කැන්බරා හි පැවති මාධ්‍ය හමුවකදී “මෙම නිර්භීත කාන්තාවන්ගේ දුක්ඛිත තත්වය ගැන ඕස්ට්‍රේලියානුවන් සංවේගයට පත්ව ඇත, ඔවුන් මෙහි ආරක්ෂිතයි, ඔවුන් මෙහි ගෙදර සිටින බව දැනිය යුතුයි.”‍යනුවෙන් පවසා තිබෙනවා.
ක්වීන්ස්ලන්තයේ පැවැත්වෙන 2026 AFC ආසියානු පාපන්දු සම්මේලනය කාන්තා ආසියානු කුසලානය සඳහා ඕස්ට්‍රේලියාවට පැමිණි ඉරාන කණ්ඩායමේ ඉතිරි ක්‍රීඩිකාවන් ගෝල්ඩ් කෝස්ට් හි හෝටලයක සිටින බව ඕස්ට්‍රේලියානු ස්වදේශ කටයුතු අමාත්‍ය ටෝනි බර්ක් සදහන් කළා.

මේ අතර ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව ඉරානයට එරෙහිව යුද මෙහෙයුම ආරම්භ කර අදට දින එකළොහක්.
යුද ගැටුම් හමුවේ මැදපෙරදිග මිය ගිය පුද්ගලයින් ගණන නිෂ්චිත වශයෙන් සදහන් නොවුනාද 5000කට ආසන්න සංඛ්‍යවක් මිය ගොස් ඇති බවට අනුමාන කරන බව විදේස මාධ්‍යවල සදහන් වෙනවා.
පවතින යුද ගැටුම් හේතුවෙන් ලෙබනනයේ පුද්ගලයින් ලක්ෂ 7ක් පමණ අවතැන්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සදහන් කරන්නේ.
කෙසේ වෙතත් මේ මොහොතේත් මැදපෙර දිග ස්ථාන කිහිපයකම ගැටුම් පවතිනවා.

Share