ඉරානය සමග පවතින යුද්ධය අවසන් කරනුයේ ඊශ්‍රායල අග්‍රාමාත්‍ය බෙන්ජමින් නෙතන්යාහු සමගින් සාකච්ඡා කර ගනු ලබන අන්‍යෝන්‍ය තීරණයකට අනුව බව අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
‘ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්’ පුවත්පත සමග පැවති දුරකථන සම්මුඛ සාකච්ඡාවකදී ඔහු මේ බව සඳහන් කරන්නේ යුද්ධය දසවැනි දිනටත් ක්‍රියාත්මක වන පසුබිමකයි.
මේ අතර සම්බාධක පනවා ඇති ඉරාන නැව් සමාගමකට අයත් භාණ්ඩ නැව් දෙකක් චීන රසායනික ගබඩා වරායකින් භාණ්ඩ රැගෙන ඉරානය දෙසට ගමන් කරමින් සිටින බව වොෂින්ටන් පෝස්ට් වාර්තා කරනවා.
එහි ඉරානයේ බැලස්ටික් මිසයිල සඳහා අවශ්‍ය කරන ද්‍රව්‍ය ප්‍රවාහනය කරන බව පුවත්පත් වාර්තාවේ සඳහන්.
ඉරානයේ නව උත්තරීතර නායකයා ලෙස තෝරා පත්කරගත් මොජ්තාබා කමේනිගේ පත්වීම පිළිබඳ අදහස් දැක්වීම ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රතික්ෂේප කර තිබෙනවා.
ඒ සම්බන්ධයෙන් විමසූ විට ඔහු ප්‍රතිචාර දක්වා ඇත්තේ “අපි බලමු මොකද වෙන්නේ කියලා” යනුවෙන් පමණයි.
ඉරානය සමඟ පවතින යුද්ධය අවසන් කිරීම තමන් සහ නෙතන්යාහු එක්ව ගන්නා අන්‍යෝන්‍ය තීරණයක් වනු ඇති බව ද ට්‍රම්ප් වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.
ට්‍රම්ප් සමග කළ දුරකතන සංවාදයක් උපුටා දක්වමින් ‘ටයිම්ස් ඔෆ් ඊශ්‍රායල්’ පුවත්පත වාර්තා කළේ රාජ්‍ය නායකයින් දෙදෙනා නිරන්තරයෙන් සාකච්ඡා පවත්වන බවයි.
යුද්ධය අවසන් කිරීම සම්බන්ධයෙන් වන අවසාන තීරණය “නිවැරදි වේලාවේදී” ගනු ලබන බව ට්‍රම්ප් පැවසු බව පුවත්පත වාර්තා කරනවා.
ඉරානය සහ ඇමරිකාව අතර පවතින දරුණු යුදමය වාතාවරණය හමුවේ බහරේනය තුළ ද දැවැන්ත දේශපාලන අර්බුදයක් නිර්මාණය වී තිබෙනවා.
බහරේනයේ හමාඩ් බින් ඉසා අල් කලීෆා රජු එරටින් පලාගොස් ඇති බවටත්, ඇමරිකානු සහ ඊශ්‍රායල හිතවාදී පාලන තන්ත්රය ජනතා කැරැල්ලක් මගින් පෙරළා දමා ඇති බවටත් වාර්තා වනවා.
විශේෂයෙන්ම බහුතරයක් වූ ෂියා මුස්ලිම් ජනතාව වීදි බැස විරෝධතාවල නිරත වීමත් සමඟ මෙම පුවත ලොව පුරා වේගයෙන් ව්‍යාප්ත වුණා.
කෙසේ වෙතත්, එයට සෘජුවම පිළිතුරු ලබා දෙමින් බහරේන රජු අද එරට රාජ්‍ය රූපවාහිනිය ඔස්සේ ජනතාව ඇමතුවා.
මෙම දේශනයේදී ඔහු අවධාරණය කළේ, ඉරානය විසින් බහරේනය සහ අනෙකුත් ගල්ෆ් කලාපීය රටවල් වෙත එල්ල කරන පෙර නොවූ විරූ ප්‍රහාර මාලාව තමන් දැඩි ලෙස හෙළා දකින බවයි.
බහරේනය සැමවිටම සාමය අගය කරන රටක් වුවද, තම ස්වෛරීභාවයට එල්ල වන ඕනෑම තර්ජනයක් මැඩපැවැත්වීමට සූදානම් බව ඔහු මෙහිදී ප්‍රකාශ කළා.
බහරේන්හි අගනුවර ආසන්න ප්‍රදේශයකට අද එල්ල වූ ඉරාන ඩ්‍රෝන ප්‍රහාරවලින් පුද්ගලයන් 32 දෙනෙකු තුවාල ලබා තිබුණා.
අද පෙරවරුවේදී අබුඩාබිහි ප්‍රබල පිපිරුම් හඬවල් කිහිපයක් වාර්තා වූ අතර, එරට ආපදා කළමනාකරණ අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කලේ මිසයිල තර්ජනයකට එරෙහිව එරට ගුවන් ආරක්ෂක පද්ධති ක්‍රියාත්මක වූ බවයි.
මේ අතර, කුවේට් ජාතික ආරක්ෂක බලකාය විසින් අද උදෑසන ආරක්ෂිත කලාපයකට ඇතුළු වූ ඩ්‍රෝන යානයක් වෙඩි තබා බිම හෙළා ඇතැයි වාර්තා වෙනවා.
මේ අතර, ඉරාන රජය විසින් පනවා ඇති දැඩි සීමා කිරීම් හේතුවෙන් ඉරාන ජනතාවට අන්තරජාලය සමඟ සම්බන්ධ වීමට ඇති අවස්ථාව පැය 216ක් තිස්සේ අහිමි වී තිබෙනවා.
මෙහි ප්‍රතිඵලයක් ලෙස ඉරානයේ වෙසෙන මිලියන 90ක පමණ ජනතාවට ලෝකය සමඟ අදහස් හුවමාරු කර ගැනීමට නොහැකි වී ඇතැයි සඳහන්.
මේ අතර, මිලිටරි ගැටුම් දිගටම පවතින තාක් කල්, සටන් විරාමයක් සඳහා විය හැකි මැදිහත්වීමේ උත්සාහයන් පිළිබඳ සාකච්ඡා “අදාළ නොවේ” යනුවෙන් ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බගයි ප්රවෘත්ති සාකච්ඡාවක දී පැවසුවා.
ඇමරිකා -ඊශ්‍රායල ගුවන් ප්‍රහාර මගින් සියලුම ජාත්‍යන්තර නීති අවදානමට ලක් කර ඇති බවත්, පසුගිය සතිය තුළ තුර්කියේ, සයිප්‍රසයේ සහ අසර්බයිජානයට එරෙහිව ඉරානය කිසිදු ප්‍රහාරාත්මක ක්‍රියාමාර්ගයක් ආරම්භ නොකළ බවත් ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කර තිබෙනවා.
කලාපයේ රටවල් සමඟ යහපත් සහ මිත්‍රශීලී සබඳතා පවත්වා ගැනීමට ඉරානය දැඩි ලෙස කැපවී සිටින නමුත්, වෙනත් රටවල භූමි ප්‍රදේශ තමන්ට එරෙහිව ප්‍රහාර එල්ල කිරීමට යොදා ගන්නේ නම්, තමන්ව ආරක්ෂා කර ගැනීමට අයිතියක් ද ඇත යනුවෙන් ඔහු එහිදී වැඩිදුරටත් අවධාරණය කළා.
මේ අතර, මෙම සතිය මුලදී චීනයේ රසායනික ගබඩා වරායකින් ඉරාන භාණ්ඩ ප්‍රවාහන නැව් දෙකක් පිටත් වූ බව වොෂින්ටන් පෝස්ට් වාර්තා කරනවා.
නාවික ගමනාගමන දත්ත සහ චන්ද්‍රිකා ඡායාරූප උපුටා දක්වමින් වොෂින්ටන් පෝස්ට් වාර්තා කළේ නැව් ඉරානය දෙසට ගමන් කරමින් සිටි බවයි.
මෙම යාත්‍රා දෙක ඉරාන ඉස්ලාමීය ජනරජ නැව් මාර්ගය විසින් මෙහෙයවනු ලබන බව සඳහන්.
රජය සතු මෙම නෞකා සඳහා ඇමරිකාව, බ්‍රිතාන්‍යය සහ යුරෝපා සංගමය විසින් සම්බාධක පනවා ඇතැයි ද වොෂිංටන් පෝස්ට් වාර්තා කරනවා.
ෂබ්ඩිස් සහ බාර්සින් යන මෙම නෞකාවන් චීනයේ ගිනිකොනදිග වෙරළ තීරයේ ෂුහායි හි ගෝලාන් වරායේ නැංගුරම් ලා ඇති අතර, ඒවායේ කාර්මික රසායනික ද්‍රව්‍ය විශාල ප්‍රමාණයක් ඇති බව ප්රවෘත්ති වාර්තාවේ සඳහන්.
එම රසායනික ද්‍රව්‍ය බැලැස්ටික් මිසයිල නිෂ්පාදනයට යෙදා ගන්නා බව ද වොෂිංටන් පෝස්ට් වාර්තා කර තිබෙනවා.





