ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අද අමෙරිකානු ඩොලර් 119 දක්වා ඉහළ ගියා.
කෙසේ වෙතත් පස්වරුව වන විට මිල ඩොලර් 100 සීමාවෙන් පහළට පැමිණියා.
බොරතෙල් බැරලයක මිල ඩොලර් 100 සීමාව ඉක්මවා ගියේ 2022 වසරේ මැදභාගයෙන් පසු පළමුවරටයි.
මේ අතර ශ්‍රී ලංකාව තෙල් මිල ඉහළ යෑමෙන් ඇතිවන කම්පන අවශෝෂණය කර ගැනීමට හොඳින් සූදානම්ව සිටින බව මහබැංකු අධිපති නන්දලාල් වීරසිංහ මහතා Bloomberg සමග සම්මුඛ සාකච්ඡාවක දී පැවසුවා.
ඉරානය සමඟ පුලුල් වන එක්සත් ජනපද-ඊශ්‍රායල යුද්ධය හේතුවෙන් සමහර ප්‍රධාන නිෂ්පාදකයින් සැපයුම් කපා හැරීම සහ දිගුකාලීන නැව්ගත කිරීමේ බාධා පිළිබඳ බිය හේතුවෙන් සඳුදා තෙල් මිල බැරලයකට ඩොලර් 119 කට වඩා ඉහළ ගියා.
එය 2022 මැද භාගයේ සිට දක්නට නොලැබුණු මට්ටමක් බව වෙළෙඳපොළ විශ්ලේෂකයින් පෙන්වා දුන්නා.
කෙසේ වෙතත් ග්‍රිනිච් වේලාවෙන් පෙරවරු 9ට පමණ වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 105.71ක් ලෙස පැවතුණේ ඩොලර් 13.02 ක් හෙවත් 14% ක ඉහළ යෑමක් පෙන්නුම් කරමින්.
එක්සත් ජනපද WTI බොරතෙල් මිල ඩොලර් 12.16 ක් හෙවත් 13% කින් ඩොලර් 103.06 ක් ලෙස දැක්වුණා.
මුල් සැසියකදී, බ්‍රෙන්ට් මිල බැරලයකට ඩොලර් 119.50 ක ඉහළම අගයක් වාර්තා කළ අතර, එය එක් දිනක් තුළ මෙතෙක් වාර්තා වූ විශාලතම නිරපේක්ෂ මිල ඉහළ යාම පෙන්නුම් කළ අතර, WTI බැරලයකට ඩොලර් 119.48 ක් වුණා.
සඳුදා මිල ඉහළ යාමට පෙර, බ්‍රෙන්ට් දැනටමත් පසුගිය සතියට වඩා 28% කින් සහ WTI 36% කින් ඉහළ ගොස් තිබෙනවා.
ලෝකයේ තෙල් සහ ද්‍රව ස්වාභාවික වායු වලින් පහෙන් එකක් පමණ සාමාන්‍යයෙන් ගමන් කරන හෝමූස් සමුද්‍ර සන්ධිය මුලුමනින්ම පාහේ වසා දමා තිබෙනවා.
පෙබරවාරි 28 වන දින ආරම්භ වූ ගැටුම ඉක්මනින් අවසන් වුවද, සැපයුම්කරුවන්ගේ හානි වූ පහසුකම්, සැපයුම් කඩාකප්පල් කිරීම සහ නැව්ගත කිරීමේ අවදානම් ඉහළ යාමත් සමඟ ලොව පුරා පාරිභෝගිකයින්ට සහ ව්‍යාපාරවලට සති හෝ මාස ගණනක ඉහළ ඉන්ධන මිලකට මුහුණ දීමට සිදුවිය හැකියි.
සැපයුම් බාධාවන්ට මුහුණ දීම සඳහා රජයන්ට උපායමාර්ගික ඛනිජ තෙල් සංචිත නිදහස් කළ හැකි අතර එක්සත් ජනපද සෙනෙට් සභාවේ ඩිමොක්රටික් නායක චක් ෂුමර් එවැනි පියවරක් ගන්නා ලෙස ට්‍රම්ප්ගෙන් ඉල්ලා සිටිනවා.
ප්‍රංශ රජයේ මූලාශ්‍රයක් සඳුදා පැවසුවේ G7 කණ්ඩායම ද මේ පිළිබඳව සාකච්ඡා කරනු ඇති බවයි.
මේ අතර තෙල් මිල ඉහළයාම අමෙරිකාව තුළ උද්ධමනය ඉහළයාමට හේතුවිය හැකි නිසා එය නොවැම්බරයේ පැවැත්වෙන අමෙරිකානු මැදිකාලීන මැතිවරණයේදී ජනපති ට්‍රම්ප්ගේ රිපබ්ලිකන් පක්ෂයට අවාසිදායක වන බව පැහැදිලි කරුණක්.
මෙවන් පසුබිමක ට්‍රම්ප් ටෘත් සෝෂල් හි සටහනක් තබමින් පැවසුවේ යුද්ධය හේතුවෙන් තෙල් මිල ඉහළයාම තාවකාලික තත්ත්වයක් බවයි.
‘තෙල් මිල ඉහළයාම කෙටිකාලීනයි. ඉරානයේ න්‍යෂ්ටික තර්ජනය අවසන්වූ වහාම තෙල් මිල නැවතත් ශීඝ්‍රයෙන් පහත වැටේවි. සාමය සහ සුරක්ෂිතතාව වෙනුවෙන් අමෙරිකාවට සහ ලෝකයට සිදුකිරීමට ඇත්තේ සුළු මූල්‍යමය කැපකිරීමක් පමණයි. ඒ ගැන වෙනස් ආකාරයෙන් සිතන්නේ අඥානයන් පමණයි’ යනුවෙන් ජනපති ට්‍රම්ප් පවසා තිබුණා.
ඉරාකයේ තෙල් නිෂ්පාදනය මේ වන විට සියයට 70කින් පමණ පහළ ගොස් තිබෙනවා.
කුවේට් ඛනිජ තෙල් සංස්ථාව සෙනසුරාදා තෙල් නිෂ්පාදනය අඩු කිරීම ආරම්භ කළා.
ඔපෙක් හි ප්‍රධාන රටවල් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ සෞදි අරාබිය ද තෙල් ගබඩා පහසුකම් අවසන් වන විට ඉක්මනින් නිෂ්පාදනය අඩු කරනු ඇතැයි විශ්ලේෂකයින් අපේක්ෂා කරනවා.
ගෑස් වෙළඳපොළවල, ප්‍රධාන යටිතල පහසුකම්වලට එල්ල වූ ප්‍රහාරවලින් පසු විශාලතම ද්‍රව ස්වාභාවික වායු අපනයනකරු කටාර් දැනටමත් නිෂ්පාදනය නතර කර තිබෙනවා.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ෆුජයිරා තෙල් කර්මාන්ත කලාපයේ ගින්නක් හටගත්තා.
ෂයිබා තෙල් නිධිය වෙත එල්ල වූ ඩ්‍රෝන යානයක් බිම දැමූ බව ද සෞදි අරාබියේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසුවා.
පිරිපහදු බාධා ඉන්ධන සැපයුම් කප්පාදුවට හේතු වන අතර, බහරේනයේ BAPCO එහි පිරිපහදු සංකීර්ණයට මෑතකදී එල්ල වූ ප්‍රහාරයකින් පසු සීමා කිරීමක් නිවේදනය කළා.
සෞදි අරාබිය දැනටමත් එහි විශාලතම තෙල් පිරිපහදුව වසා දමා තිබෙනවා.
මෙවන් පසුබිමක ඉන්දියාවේ දැනට බොරතෙල් සහ පිරිපහදු කළ ඛනිජ තෙල් නිෂ්පාදන බැරල් මිලියන 250 කට වඩා වැඩි ඒකාබද්ධ බලශක්ති ආරක්ෂිත පවත්වාගෙන යන අතර එය ආසන්න වශයෙන් ලීටර් කෝටි 4,000 කට සමාන බව වාර්තා වනවා.
මෙම තොගය සම්පූර්ණ සැපයුම් දාමය පුරා සති හතේ සිට අට දක්වා ආවරණයක් සපයනු ඇති.
එමෙන්ම ඉන්දියාවට රුසියානු බොරතෙල් මිලට ගැනීම සඳහා දින 30ක සහන කාලයක් ලබා දෙන බව ද එක්සත් ජනපදය පසුගිය දා නිවේදනය කළා.
කෙසේ වෙතත් ලෝක් සභාවේ විපක්ෂ නායක රාහුල් ගාන්ධිගේ නායකත්වයෙන් යුත් විපක්ෂ මන්ත්‍රීවරු සඳුදා පාර්ලිමේන්තු සංකීර්ණය ඉදිරිපිට විරෝධතාවක නිරතවෙමින් අගමැති නරේන්ද්‍ර මෝදි දැනට පවතින ගල්ෆ් ගැටුම සහ එහි ඉන්දියාවේ ආර්ථිකයට සහ විදේශයන්හි පුරවැසියන්ට ඇති විය හැකි බලපෑම පිළිබඳව “සම්පූර්ණ නිහඬතාවයක්” පවත්වා ගෙන යන බවට චෝදනා කළා.
බටහිර ආසියාවේ තත්ත්වය පිළිබඳව සවිස්තරාත්මක ප්‍රකාශයක් සහ සාකච්ඡාවක් සඳහා විපක්ෂයේ පක්ෂ රජයට බලපෑම් කරමින් සිටින අතර, ගැටුම ඉන්දියාවේ බලශක්ති ආරක්ෂාව, ඉන්ධන මිල ගණන් සහ ගල්ෆ් කලාපයේ වෙසෙන ඉන්දියානු පුරවැසියන්ගේ ආරක්ෂාවට සැලකිය යුතු ලෙස බලපෑ හැකි බවට අනතුරු අඟවනවා.
මේ අතර මැදපෙරදිග ගැටුම සමග ඇතිවන බලශක්ති අර්බුදයක් මධ්‍යයේ විදුලිය සහ ඉන්ධන සංරක්ෂණය කිරීමේ හදිසි පියවරවක් ලෙස රාමසාන් නිවාඩුව කලින් ලබා දී බංග්ලාදේශය සඳුදා සිට සියලුම රාජ්‍ය හා පෞද්ගලික විශ්ව විද්‍යාල වසා දැමීමට තීරණය කර තිබෙනවා.
එරට බලධාරීන් පවසන්නේ මෙම තීරණය විදුලි පරිභෝජනය අඩු කිරීම පමණක් නොව, ඉන්ධන නාස්තියට හේතු වන රථවාහන තදබදය ද ලිහිල් කරනු ඇති බවයි.
ඉස්ලාමීය ශුද්ධ වූ රාමසාන් මාසය සඳහා බංග්ලාදේශයේ රජයේ සහ පෞද්ගලික පාසල් දැනටමත් වසා දමා තිබෙනවා.
මැදපෙරදිග පවතින ගැටුම හේතුවෙන් ගෝලීය බලශක්ති වෙළඳපොළට සිදුවන බාධා හේතුවෙන් බංග්ලාදේශය ඉන්ධන සහ ගෑස් සැපයුම් සම්බන්ධයෙන් ඉහළ යන අවිනිශ්චිතතාව මෙම තීරණයට හේතුවයි.
ජනතාවගේ හදිසි මිලදී ගැනීම් සහ ඉන්ධන තොග ගබඩා කිරීම් හේතුවෙන් පසුගිය සිකුරාදා සිට ඉන්ධන අලෙවිය සඳහා දෛනික සීමාවන් පැනවීමට ද බංග්ලාදේශ බලධාරීන් පියවර ගත්තා.
මේ අතර පාකිස්ථානු රජය ඉන්ධන මිල සියයට 22කින් පමණ පසුගිය සතියේ ඉහළ නැංවූ අතර කෑන්වලට ඉන්ධන ලබා දීම තහනම් කරනු ලැබුවා.
එවන් තත්ත්වයක් තුල පිරවුම්හලක දී ඉන්ධන ලබා දීම ප්‍රතික්ෂේප කළ සේවකයෙකු වෙඩි තබා ඝාතනය කර තිබෙනවා.
තවත් සේවකයින් දෙදෙනෙක් තුවාල ලබා ඇතැයි ද සඳහන්.
මෙම සිද්ධිය වාර්තාවන්නේ පන්ජාබයේ සියල්කොට් ප්‍රදේශයෙන්.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ගණන් ඉහළ යෑම මෙරට ආර්ථිකයට ද බලපෑම් එල්ල වන ප්‍රධාන සාධකයක්.
ඉහළම ආනයන වියදමක් දරන්නේ ඉන්ධන සඳහා වන අතර එහි පිරිවැය ඉහළ යෑම ආර්ථිකයේ සියලු මිල මට්ටම් වැඩි වීමට හේතුවනවා.
කෙසේ වෙතත් මහබැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා පවසන්නේ මෙරට ආර්ථිකය දැනට පවතින ඉන්ධන මිල වැඩිවීමේ කම්පනය අවශෝෂණය කර ගැනීමට තරම් ශක්තිමත් බවයි.
ඇමරිකානු ඩොලර් බිලියන 7ක ශක්තිමත් විදේශ සංචිතය සහ අඩු උද්ධමනය ඒ සඳහා තීරණාත්මක ආරක්ෂණ පියවර Bloomberg සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී මහබැංකු අධිපතිවරයා පෙන්වා දුන්නා.





