කොන්දේසි විරහිත යටත් වීමක් හැර ඉරානය සමඟ කිසිදු ගිවිසුමක් නොමැති බව ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසනවා.
අටවෙනි දිනටත් ක්‍රියාත්මක මැදපෙරදිග යුද උණුසුම මධ්‍යයේ ධවල මන්දිරයේ පැවති මාධ්‍ය හමුවකදී ට්‍රම්ප් මේ අදහස් පළ කළා
මේ අතර, ඉරානය සඳහා නව නායකයෙකු තෝරා ගැනීමේ ක්‍රියාවලියට සම්බන්ධ වීමට තමන් ද කැමති බවත් ඇමරිකාවට මෙන්ම ඊශ්‍රායලයට ද හිතකර, සහයෝගයෙන් කටයුතු කළ හැකි නායකයෙකු පත් කර ගැනීම ඔහුගේ අපේක්ෂාව බවත් ට්‍රම්ප් අවධාරණය කර තිබෙනවා.
කෙසේ වෙතත්, මෙම ප්‍රකාශයන් තරයේ ප්‍රතික්ෂේප කරන එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ඉරාන තානාපතිවරයා පවසන්නේ ඉරානය ස්වෛරී රාජ්‍යයක් බවත්, රටේ මීළඟ නායකයා කවුරුන්ද යන්න තීරණය කරන්නේ ඉරාන ජනතාව මිස බාහිර පාර්ශවයන් නොවන බවයි.
ඊශ්‍රායලය සහ අමෙරිකාව ඒකාබද්ධව ඉරානයට එරෙහිව යුද මෙහෙයුම ආරම්භ කර අදට දින අටක් ගතව තිබෙනවා.
මේ වනවිට එම තත්ත්වය උත්සන්නවී ඇති අතර මැදපෙරදිග අමෙරිකානු හමුදා මූලස්ථාන පිහිටා ඇති ස්ථානවලට ඉරානය අඛණ්ඩව ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.
යුද්ධය ආරම්භ කිරීමෙන් පසු ඉරානයට එල්ල වූ ඇමරිකා-ඊශ්‍රායල ප්‍රහාරවලින් අවම වශයෙන් පුද්ගලයින් 1,332 දෙනෙකු මිය ගොස් ඇති බව වාර්තා වන අතර ටෙහෙරානයට පොකුරු බෝම්බ ප්‍රහාර රැල්ලක් එල්ල කල බව අල්ජසීරා පුවත් සේවය වාර්තා කරනවා.
මේ අතර, ඊශ්‍රායලට එල්ල වූ ප්‍රහාර වලින් මරණ 217 ක් වාර්තා වී ඇති බව එරට සෞඛ්‍ය අමාත්යංශය පවසනවා.
මේ අතර, ඇමරිකානු අවි නිෂ්පාදකයින් සිය අවි නිෂ්පාදනය හතර ගුණයකින් වැඩි කිරීමට එකඟ වූ බව ට්‍රම්ප් පවසනවා.
මේ අතර අමෙරිකානු බෝම්බ හෙලන යානයක් බ්‍රිතාන්‍යයේ ගුවන් කඳවුරක් වෙත ගොඩබස්සවා තිබෙනවා .
ඒ ඇමරිකානු ගුවන් හමුදාව විසින් භාවිතා කරන සුපර්සොනික් හා බර බෝම්බ හෙලන යානයක් වන රොක්වෙල් B-1 යානයක්
එය ග්ලොස්ටර්ෂයර් හි ෆෙයාර්ෆර්ඩ් වෙතයි පැමිණ ඇත්තේ.
මෙම යානයේ ප්‍රවේශය බ්‍රිතාන්‍යය විසින් මුලින් ප්‍රතික්ෂේප කළද පසුව යානය ගොඩබැස්සවූ බවයි බී.බී.සී මාධ්‍ය වාර්තා කරන්නේ.
“ද බෝන්” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වන B-1 බෝම්බ හෙලන යානය දිගු දුර, බහු-මෙහෙයුම් සුපර්සොනික් සාම්ප්‍රදායික බෝම්බ හෙලන යානයක් වන අතර අමෙරිකානු ගුවන් හමුදාව සතු වේගවත්ම බෝම්බ හෙලන යානය ද වනවා.
මේ අතර බ්‍රිතාන්‍ය අගමැති කීර් ස්ටාර්මර් විසින් ඉරාන මිසයිල ඇති ස්ථානවලට ආරක්ෂක ප්‍රහාර දියත් කිරීම සඳහා බ්‍රිතාන්‍ය කඳවුරු භාවිතා කිරීමට ඇමරිකාවට අවසර ලබා දී තිබෙනවා.
මේ අතර, අවශ්‍ය වුවහොත් සෞදි අරාබිය ආරක්ෂා කිරීමට එක්සත් රාජධානිය සූදානම් බවත් අගමැති කීර් ස්ටාර්මර් පවසනවා.
කෙසේ වෙතත්, තම රටට එල්ල වූ ඉරාන ඩ්‍රෝන යානා 06ක් විනාශ කළ බව සෞදි අරාබිය පවසනවා.
එරට පිහිටි ෂයිබා තෙල් නිධිය දෙසට මෙම ඩ්‍රෝන යානා පියාසර කළ බවයි ඔවුන් සඳහන් කළේ.
ඒ අනුව කාන්තාර ප්‍රදේශයකදී එම යානා 06 විනාශ කර ඇති තිබෙනවා.
ප්‍රින්ස් සුල්තාන් ගුවන් කඳවුර දෙසට පැමිණි බැලැස්ටික් මිසයිලයක් ද සෞදි අරාබි ආරක්ෂක අංශ විසින් මැඩපවත්වා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා පවසන්නේ.
මේ අතර සයිප්‍රසයේ ආරක්ෂාව තර කිරීමේ අරමුණින්, බ්‍රිතාන්‍යයට අයත් වයිල්ඩ්කැට් හෙලිකොප්ටර් යානා දෙකක් එරටට පැමිණ තිබෙනවා.
අද උදැසන වනවිට ඉරානයේ කාර්යබහුලම ගුවන්තොටුපොළ ලෙසින් සැලකෙන මෙහ්රාබාද් ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ අද අලුයම විශාල පිපිරීමක් සිදුව ඇති බව බී.බී.සී. ප්‍රවෘත්ති සේවය වාර්තා කරනවා.
දකුණු ඉරාකයේ බස්රාහි තෙල් පිරිපහදු මධ්‍යස්ථානයකට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වී ඇති අතර ඉන් එම ප්‍රදේශයේ ගින්නක් හටගෙන තිබෙනවා.
මේ අතර රුසියානු ජනාධිපති ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සමග දුරකථන සංවාදයක නිරත වී ඇති බව බීබීසී පුවත් සේවය වාර්තා කරනවා.
ඇමරිකා-ඊශ්‍රායල ප්‍රහාර හමුවේ ඉරානයේ උත්තරීතර නායකයා, අනෙකුත් රජයේ නිලධාරීන් සහ සිවිල් වැසියන් මියයාම සම්බන්ධයෙන් සිය ශෝකය ප්‍රකාශ කරමින් රුසියානු ජනපතිවරයා මෙලෙස කතා කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.
රුසියාව ලබා දෙන සහයෝගය සම්බන්ධයෙන් පෙසෙෂ්කියන් සිය කෘතඥතාව පළ කළ අතර, ඉරානයේ වත්මන් තත්ත්වය පිළිබඳ සවිස්තරාත්මක වාර්තාවක් ද ඉදිරිපත් කර ඇති බව සඳහන්.
තවද, ඉරානය සහ රුසියාව යන දෙරටම අඛණ්ඩව සන්නිවේදනය පවත්වා ගැනීමට මෙහිදී එකඟ වී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරනවා.
මෙවන් පසුබිමක් තුල, රුසියාව ඉරානයට ආධාර කළ බවට වාර්තා සම්බන්ධයෙන් CBS ප්‍රවෘත්ති වෙත අදහස් දක්වමින් ඇමරිකානු ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත් සඳහන් කලේ, “සිදු නොවිය යුතු ඕනෑම දෙයකට” “දැඩි ලෙස මුහුණ දෙන” බවත්, ජනාධිපති ට්‍රම්ප් “කවුරුන් සමඟ කතා කරන්නේද යන්න හොඳින් දන්නා” බවයි.




