T20 ලෝක කුසලාන තරගාවලියේ එංගලන්තය සමඟ පැවති අවසන් පූර්ව වටයේ තරගයෙන් ලකුණු 7ක තියුණු ජයක් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම ඊයේ සමත් වුණා.
මෙම ජයත් සමඟ අඛණ්ඩ අවස්ථා දෙකකදී T20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුණා.
මෙවර තරගාවලියේ නිදහස් සංඛ්‍යාත ඔස්සේ දේශීය නිළ විකාශන අයිතිය හිමිව ඇත්තේ ටී.වී සුප්‍රීම් නාළිකාවටයි.
පිතිකරුවන්ට පාරාදීසයක් වූ මුම්බාහී හී වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවති මෙම තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනාගත් එංගලන්ත කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහරදීමට ඉන්දීය කණ්ඩායමට ආරධනා කළා.
ඒ අනුව පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 7ක් දැවී ලකුණු 253ක දැවැන්ත ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
මෙය වාර්තා පොත් අතරට එක්වූයේ T20 ලෝක කුසලාන අවසන් පූර්ව වටයේ තරගයකදී කණ්ඩායමක් රැස් කළ ඉහලම ලකුණු සංඛ්‍යාව ලෙසයි.
එංගලන්ත පන්දු යවන්නන්ට එරෙහිව අනුකම්පා විරහිත පිතිකරණයක නියැලුණු සංජු සැම්සන් පන්දු 42කින් ලකුණු 89ක් රැස්කර ගත්තා.
ඔහුගේ ඉණිම හයේ පහර 7ක් සහ හතරේ පහර 8කින් වර්ණවත් වුණා.
ඔහුට අනගි සහයක් ලබා දුන් ශිවම් ඩුබේ ලකුණු 43ක් රැස් කර ගත්තා.
පන්දු යැවීමේදී අඩිල් රිශාඩ් සහ විල් ජැක්ස් අතරේ කඩුළු 2 බැගින් බෙදී ගියා.
ලකුණු 254ක අති දැවැන්ත ලකුණු පුවරුවක් හඹා ගිය එංගලන්ත කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුනු 246ක් රැස්කර ගත්තා
එංගලන්ත ඉණිමේ නැංගුරම වූ ජේකොබ් බෙතෙල් පන්දු 48කින් වේගවත් ලකුණු 105ක් රැස්කර ගැනීමට සමත් වුවත්, එය තරගය ජයග්‍රහණය කිරීමට තරම් ප්‍රමානවත් වූයේ නැහැ.
කෙසේ වෙතත් අවසන් පන්දුවාරය තෙක් තරගය රැගෙන ගිය ජේකොබ් බෙතෙල්, අවසන් පන්දුවාරයේ පළමු පන්දුවෙන්ම දුවද්දී දැවී යාමකට හසු කර ගැනීමට ඉන්දීය කණ්ඩායම සමත් වුනා.
ඒ වනවිට එංගලන්ත කණ්ඩායමට ජයග්‍රහණය කිරීමට පන්දු 5කින් ලකුනු 28ක් අවශ්‍ය වුණා.
බෙතෙල්ගේ දැවී යාමෙන් අනතුරුව පිටියට පිවිසි ජෙෆ්රි ආචර් හට එම පන්දු 5 තුළදී රැස්කර ගැනීමට හැකිවූයේ ලකුණු 21ක් පමණයි.
ඒ අනුව ලකුණු 7ක තියුණු ජයක් ලබා ගත් ඉන්දීය කණ්ඩායම අඛණ්ඩව දෙවන වරටටත් විස්සයි20 ලෝක කුසලාන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගැනීමට සමත් වුණා.
මෙලෙස අඛණ්ඩ අවස්ථා දෙකකදී විස්සයි20 ලෝක කුසලාන අවසන් සටනට සුදුසුකම් ලැබූ තෙවන රට ඉන්දියාව වන අතර, මීට පෙර එම දස්කම දක්වා ඇත්තේද ආසියානු රටවල් දෙකක් වන පාකිස්තානය සහ ශ්‍රී ලංකාවයි.
ඒ අනුව ඉන්දියාව එළැබෙන 8 වැනිදා නවසීලන්තය සමඟ අහ්මදාබාත් හී නරේන්ද්‍රමෝදී ක්‍රීඩාංගනයේදී T20 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී එකිනෙකා හමු වනු ඇති.




