පාස්කු සිද්ධියට අත්අඩංගුවට ගත් අලුත්ගම මිල්හාන්ට වන්දි ගෙවන්න රජයට නියෝගයක්

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයෙන් පසුව අයි.එස්.අයි.එස්. ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බවට සැකපිට අත්අඩංගුවට ගැනීමෙන් අලුත්ගම පදිංචි මොහොමඩ් මිල්හාන් නමැති තරුණයෙකුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර තිබෙනවා.

ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධව වගකිය යුතු ගල්කිස්ස පොලිසියේ උප පොලිස් පරීක්ෂකවරයාට නියෝග කළේ සිය පෞද්ගලික මුදලින් පෙත්සම්කරුට වන්දි ගෙවන ලෙසයි.

රජය විසින් ද වන්දි ගෙවනු ලැබිය යුතු බව තීන්දුවේ සඳහන් වුණා.

2019 වසරේ පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියෙන් පසුව අයි.එස්.අයි.එස්. ත්‍රස්ත ක්‍රියාකාරකම්වලට සම්බන්ධ බව පවසමින් අලුත්ගම ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් මිල්හාන් නමැති තරුණයෙකු සැකපිට ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ ප්‍රකාශයට පත් කළා.

පෙත්සම විභාග නළේ අර්ජුන ඔබේසේකර, ප්‍රියන්ත ප්‍රනාන්දු සහ සෝභිත රාජකරුණා යන මහත්වරුන්ගේ සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලක් විසින්.

සෙසු විනිසුරුවරුන්ගේ එකඟත්වය ඇතිව තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු සෝභිත රාජකරුණා මහතා 2019 මැයි 05 වනදා අත්තිඩිය ප්‍රදේශයේදී පෙත්සම්කරු අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කර තිබෙන බව සඳහන් කළා.

පෙත්සම්කරු කියා තිබුණේ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පුද්ගලයෙකු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඊට බලපාන හේතු එම සැකකරුට පොලිසිය විසින් දිය යුතු වුවත් වගඋත්තරකරුවන් තමන්ව අත්අඩංගුවට ගැනීමේදී ඊට හේතු වූ කරුණු දැනුම් නුදුන් බවයි.

අයි.එස්. අයි.එස් සංවිධානයේ මතවාදය අනුගමනය කරන පුද්ගලයින්ගේ ලැයිස්තුවේ මෙම පෙත්සම්කරුගේ නම 84 වන ස්ථානයේ තිබූ බව වගඋත්තරකාර පොලිස් නිලධාරීන් අධිකරණයට ඉදිරිපත් කළ විරෝධතා මගින් දැනුම් දී තිබුණා.

දෙපාර්ශවය විසින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල සිය තීන්දුවේ සඳහන් කර තිබුණේ පෙත්සම්කරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ප්‍රමාණවත් කරුණු පැවැති බවට අධිකරණය හමුවේ තහවුරු කිරීමට වග උත්තරකරුවන් අපොහොසත් වී ඇති බවයි.

ඒ අනුව පෙත්සම්කරු අපරාධ ක්‍රියාවලට සම්බන්ධ බවට සාධාරණ සැකයකින් තොරව තහවුරු කළ හැකි තොරතුරු අධිකරණය හමුවේ ඉදිරිපත් වී නොමැති බවත් තීන්දුවේ සඳහන් වුණා.

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාර සිද්ධියට සම්බන්ධ බවට සැකපිට පෙත්සම්කරුවත් අත්අඩංගුවට ගෙන තිබුණත් ඔහු අත්අඩංගුවට ගැනීමට අදාලව නිකුත් කර තිබූ රිසිට් පතේ පාස්කු ප්‍රහාරය පිළිබඳව හෝ බුද්ධ ප්‍රතිමා විනාශ කිරීම සම්බන්ධ සිද්ධීන් වලට අදාල තොරතුරු ඇතුළත් වී නොතිබූ බව අධිකරණය නිරීක්ෂණය කරන බවත් තීන්දුවේ සඳහන්.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමේදී මෙම අත්අඩංගුවට ගැනීම තුළින් පෙත්සම්කරුගේ මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කළා.

ඒ අනුව අදාළ අත්අඩංගුවට ගැනීම සම්බන්ධව වගකිය යුතු ගල්කිස්ස පොලිසියේ උප පොලිස් පරීක්ෂක රාමනායක මහතා සිය පෞද්ගලික මුදලින් රුපියල් 30000ක වන්දියක් සහ රජය විසින් රුපියල් 20000 ක වන්දියක් පෙත්සම්කරුට ගෙවිය යුතු බවත් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.

Share