නවසීලන්තය T20 ලෝක කුසලාන තරගාවලියේ අවසන් මහා තරඟයට සුදුසුකම් ලබාගනී

2026 T20 විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දකුණු අප්‍රිකානු බලාපොරොත්තු සුනුවිසුනු කරමින් නවසීලන්තය ඊයේ වාර්තාගත ජයක් ලැබුවා.
ෆින් ඇලන් පන්දු 33කින් වේගවත්ම ශතකය රැස් කරද්දී, දකුණු අප්‍රිකාව කඩුලු 9කින් පරදා නවසීලන්තය දෙවැනි වරටත් T20 ලෝක කුසලාන තරගාවලියක අවසන් මහා තරඟයට සුදුසුකම් ලබා ගත්තා.

ප්‍රථමයෙන් පන්දුවට පහර දුන් දකුණු අප්‍රිකානු කණ්ඩායමට ආරම්භයේ සිටම නවසීලන්ත පන්දු යවන්නන්ගෙන් එල්ල වූයේ දැඩි පීඩනයක්.
ඉනිමේ පළමු කඩුලු 5ක ලකුණු 77කට දැවී ගොස් තිබියදී, දකුණු අප්‍රිකානු ඉනිම යම් මට්ටමකට හෝ ස්ථාවර කළේ මාර්කෝ ජැන්සන්.
ඔහු පන්දු 30කදී ලකුණු 55ක් රැස් කළා.
ඒ අනුව නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී දකුණු අප්‍රිකාව ලකුණු 169ක් ලබා ගැනීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ඇරඹූ නවසීලන්තයෙන් දකුණු අප්‍රිකානු පන්දු බලඇණියට එල්ල වූයේ අනුකම්පා විරහිත ප්‍රහාරයක්.
නවසීලන්ත ආරම්භක පිතිකරු ෆින් ඇලන් ගේ ගිනිකෙලි සංදර්ශනය එහිදී කැපී පෙනුණා.

ඇලන් පන්දු 33ක් පමණක් වැය කරමින් සිය ශතකය වාර්තා කළේ t20 ලෝක කුසලාන ඉතිහාසයේ වේගවත්ම ශතකයේ වාර්තාව තමන් සතු කර ගනිමින්.
අනෙක් අන්තයෙන් ඔහුට මනා සහයක් දුන් ටිම් සයිෆර්ට් නොදැවී ලකුණු 58ක් රැස් කළා.
එහි ප්‍රතිඵලයක් ලෙස ලකුණු 170ක ඉලක්කය එක් කඩුල්ලක් පමණක් දැවී පන්දුවාර 12යි පන්දු 5ක් තුල සපුරා ගැනීමට නවසීලන්තයට හැකි වුණා.

විස්සයි විස්ස ලෝක කුසලාන ඉතිහාසය තුළ දකුණු අප්‍රිකාවට එරෙහිව නවසීලන්තය ලැබූ පළමු ජයග්‍රහණය මෙයයි.

ඒ අනුව මෙවර තරගාවලියේ අපරාජිතව සිටි දකුණු අප්‍රිකාවේ ගමන අවශ්‍යම අවස්ථාවේ නතර කළ නවසීලන්තය ලබන ඉරිදා අහමදාබාද්හි නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අවසාන මහා තරඟය සඳහා සුදුසුකම් ලබා ගත්තා.

2026, විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ දෙවන අවසන් පූර්ව තරගය සම සත්කාරක ඉන්දියාව සහ එංගලන්තය අතර අද රාත්‍රි 7ට මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

Share