මැදපෙරදිග කලාපයේ වර්ධනය වෙමින් පවතින යුද වාතාවරණය හේතුවෙන් ශ්‍රි ලංකාවට මුහුණදීමට සිදුවන ප්‍රතිවිපාකවල බරපතළකම පිළිබඳව කරුණු දක්වමින් හිටපු විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල් පීරිස් ජනාධිපති අනුර තුමාර දිසානායක වෙත ලිපියක් යොමු කරනවා.
මෙම ප්‍රතිවිපාක හසුරුවා ගැනීමේ පුළුල් ජාතික අවශ්‍යතාව වෙනුවෙන් ඕනෑම සහායක් රජයට ලබා දීමට සූදානම් බවයි හිටපු අමාත්‍යවරයා මෙම ලිපියෙන් ජනාධිපතිවරයාට දැනුම් දෙන්නේ.
මැදපෙරදිග අර්බුදය ප්‍රධාන ක්ෂේත්‍ර ගනනාවක් ඔස්සේ ශ්‍රී ලංකාවට බලපෑම් කරන බව මහාචාර්ය ජී. එල්. පීරිස් මෙම ලිපියෙන් පෙන්වා දෙනවා.
ලෝක වෙළඳපොළේ තෙල් මිල ඉහළ යාම හේතුවෙන් මතුවන ආර්ථික දුෂ්කරතා, ක්‍රියාකාරී මිලිටරි කලාපයේ ඇති ශ්‍රි ලංකාවේ තේ වැනි ප්‍රධාන අපනයන වෙළෙඳපොළ අවහිර වීමෙන් මතුවන දුෂ්කරතා, ගුවන් ගමන් බිඳවැටීම හේතුවෙන් ශ්‍රි ලංකාවේ සංචාරක ව්‍යාපාරයට එල්ල වන බලපෑම් සහ ගල්ෆ් කලාපය ඇතුළු ප්‍රදේශවල රැකියාවල නියුතු ශ්‍රී ලාංකික සේවකයින්ගෙන් ලැබෙන ප්‍රේෂණ අහිමි වීමෙන් මතුවන ගැටලු මහාචාර්ය ජී. එල්. පීරිස් සිය ලිපියෙන් විස්තර කර තිබෙනවා.
මෙම ගැටලුවට මුහුණදීම සඳහා සිය සහාය පළ කර සිටින මහාචාර්ය ජී. එල් පීරිස් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටින්නේ මේ සඳහා රජයේ විසඳුම් හෝ යෝජනා මහජනයාගේ දැන්වත්වීම සඳහා පොදු අවකාශයෙහි තබන ලෙසයි.
මේ අතර මැදපෙරදිග කලාපයේ පවතින ගැටුම් ලෝක සාමයට සහ ආරක්ෂාවට සැලකිය යුතු තර්ජනයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.
X පණිවිඩයක් නිකුත් කරමින් විපක්ෂ නායකවරයා සඳහන් කරන්නේ මැදපෙරදිග රටවලට එල්ල කරන ප්‍රහාර හරහා ගැටුම්කාරී පසුබිම තවදුරටත් ව්‍යාප්ත කිරීම හෙළා දැකිය යුතු අතර, යුද්ධය නවතා කඩිනමින් සාකච්ඡා ආරම්භ කරන ලෙස අදාළ පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටින බවයි.




