ලෝකයම අස්ථාවර කළ මැද පෙරදිග යුද්ධය සිව්වන දිනටත් දිග්ගැස්සෙයි

ඉරානය සමඟ පුළුල් වන ඇමරිකා-ඊශ්‍රායල ගැටුම සහ හෝමූස් සමුද්‍ර සන්ධිය හරහා නැව්ගත කිරීමට ඇති තර්ජන හේතුවෙන් මැදපෙරදිග ප්‍රධාන තෙල් නිෂ්පාදන කලාපයෙන් සැපයුම් අඩාල වනු ඇතැයි බියත් සමඟ අද තුන්වන දිනටත් තෙල් මිල ඉහළ ගියා.
ග්‍රිනිච් වේලාවෙන් 0400 වන විට බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 79.44 ක් වූ අතර එය ඩොලර් 1.70 කින් හෙවත් 2.2% කින් ඉහළ යෑමක්.
සඳුදා, ගනුදෙනු ආරම්භයේ දී 2025 ජනවාරි මාසයෙන් පසු ඉහළම අගය වූ ඩොලර් 82.37 ක් දක්වා ඉහළ ගිය නමුත් පසුව ඩොලර් 77.74ක් දක්වා තරමක් පහළ ගියා.
එක්සත් ජනපද WTI බොරතෙල් බැරලයක් ඩොලර් 1.17 කින් හෙවත් 1.6% කින් ඩොලර් 72.40 ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.
පෙර දිනය ආරම්භයේ දී 2025 ජුනි මාසයෙන් පසු ඉහළම මට්ටමට වැඩි වූ මිල පසුව සියයට 6.3ක මට්ටමේ ස්ථාවර වුණා.
ගෝලීය තෙල් හා ගෑස් නැව් ගාස්තු ඉහළ ගොස් ඇති අතර, රක්ෂණකරුවන් යාත්‍රා සඳහා ආවරණය අවලංගු කර ඇති බැවින් ඉන්ධන සහ බහාලුම් ප්‍රවාහන නෞකා මේ වන විට කලාපයේ සමුද්‍ර මාර්ග භාවිතයෙන් වැලකී සිටිනවා.
සඳුදා මෙම කලාපයේ දී ඉන්ධන ප්‍රවාහන නෞකාවක් ගිනිගෙන ඇති අතර, අවම වශයෙන් තවත් හතරක් හානි වී තිබෙනවා.
නැව් 150 ක් පමණ ගල්ෆ් කලාපයේ නැංගුරම්ලා ඇතැයි වාර්තා වනවා.
නාවුක ලුහුබඳින වෙබ් අඩවියක් වන Kpler වාර්තා කළේ ඉරාන සහ චීන නෞකා අතලොස්සක් පමණක් සමුද්‍ර සන්ධිය හරහා ගමන් කළ බවයි.
ලෝකයේ තෙල් හා ගෑස් වලින් 20% ක් පමණ හෝර්මුස් සමුද්‍ර සන්ධිය හරහා ප්‍රවාහනය කෙරෙනවා.
මේ අතර පවතින අවදානම හේතුවෙන් මැදපෙරදිග සිට චීනයට තෙල් නැව්ගත කිරීම සඳහා අතිනවීන ප්‍රවාහන නෞකාවක කුලී පිරිවැය ඩොලර් 400,000ඉක්මවන වාර්තාගත අගයකට ළඟා වී ඇති බව ලන්ඩන් කොටස් හුවමාරු සමූහයේ දත්ත පෙන්වා දෙනවා.
එම වටිනාකම පසුගිය සතියේ එක්සත් ජනපදය ඉරානයට පහර දෙන බවට තර්ජනය කළ විට තිබූ අගය මෙන් දෙගුණයක්.
මෙම කුලී පිරිවැය බොරතෙල් බැරල් මිලියන දෙකක් දක්වා ප්‍රවාහනය කළ හැකි විශාලතම තෙල් ප්‍රවාහනය කරන යාත්‍රා සඳහායි.
ඉදිරි දින කිහිපය තුළ තෙල් මිල ඉහළ මට්ටමක පවතිනු ඇතැයි විශ්ලේෂකයින් අපේක්ෂා කරනවා.
මැදපෙරදිග ප්‍රධාන ඉන්ධන සැපයුම්කරුවෙකු වන අතර එහි පිරිපහදු පහසුකම් අවදානමට ලක්ව ඇති බැවින් පිරිපහදු කළ නිෂ්පාදන අනාගතය අවිනිශ්චිතතාව ද ඉහළ යමින් තිබෙනවා.
ඩ්‍රෝන් ප්‍රහාරයකින් පසු සඳුදා සෞදි අරාබිය එහි විශාලතම දේශීය තෙල් පිරිපහදුව වසා දැමුවා.
වසර දෙකකට පසු ඉහළම අගයට ළඟා වූ පසු සඳුදා එක්සත් ජනපද වෙළෙඳපොලේ අඩු සල්ෆර් ඩීසල් ගැලුමක මිල ඩොලර් 3.02 දක්වා 4.2% කින් ඉහළ ගිය අතර, 3.7% කින් ඉහළ ගිය පෙට්‍රල් ගැලුමක මිල ඩොලර් 2.41ක් වුණා.
ඉරිදා, ඔපෙක් කණ්ඩායම ඕනෑම මිල ඉහළ යාමක් පියවා ගැනීම සඳහා දිනකට බැරල් 206,000 කින් තම නිෂ්පාදනය වැඩි කිරීමට එකඟ වූ නමුත් මෙය මිල පාලනය කිරීමට උපකාරී නොවනු ඇති බවට ඇතැම් විශ්ලේෂකයින් මත පල කරනවා.
ගැටුම් හේතුවෙන් ද්‍රව ස්වාභාවික වායු දෛනික ප්‍රවාහන ගාස්තු 40% කට වඩා වැඩි වී තිබෙනවා.
සඳුදා අත්ලාන්තික් අනුපාතය දිනකට ඩොලර් 61,500 දක්වා ඉහළ ගිය අතර එය පෙර දිනට වඩා 43% කින් නැතහොත් ඩොලර් 18,750 කින් ඉහළ යෑමක්.
පැසිෆික් අනුපාතය පෙර දිනට වඩා 45% කින් නැතහොත් ඩොලර් 12,750 කින් ඉහළ ගොස් ඩොලර් 41,000 ක ස්ථාවර වී තිබෙනවා.
මේ අතර ඩෙන්මාර්ක බහාලුම් නැව්ගත කිරීමේ සමාගමක් වන මාර්ස්ක් ඉරිදා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සූවස් ඇළ හරහා යාත්‍රා කිරීම නවතා සුබපැතුම් තුඩුව වටා නැව් මාර්ග නැවත සකස් කරන බවයි.

Share