එක්සත් අරාබි එමීර් හිදී තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයා ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගිහින්

එක්සත් අරාබි එමීර් වෙත එල්ල වූ ඉරානය ඩ්‍රෝන ප්‍රහාර හේතුවෙන් තුවාල ලැබූ ශ්‍රී ලාංකිකයා මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටව ගොස් ඇතැයි එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසනවා.
එක්සත් ආරාබි එමීර් ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ ප්‍රහාර හේතුවෙන් තිදෙනෙක් මියගොස් තවත් 58 දෙනෙකු තුවාල ලැබූ බවයි.

එක්සත් අරාබි එමීර් ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළේ ඉරාන ප්‍රහාර හේතුවෙන් පාකිස්තාන, නේපාල සහ බංග්ලාදේශ ජාතිකයන් තිදෙනෙකු මියගොස් ඇති බවයි.
එසේම ශ්‍රී ලාංකිකයෙකු ඇතුලු 58 දෙනෙකු තුවාල ලබා ඇතැයි ද එහි සඳහන් වුණා.
මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී ඩුබායි සහ උතුරු එමිරේට්ස් කොන්සල් ජනරාල් ඇලෙක්සි ගුණසේකර මහතා සඳහන් කළේ 40 හැවිරිදි එම ශ්‍රී ලාංකිකයා ඉතා සුළු තුවාල ලබා ඇති බවයි.
ඔහු ප්‍රතිකාර ලබා එම මොහොතේම රෝහලෙන් පිටව ගොස් ඇති බවද ඔහු සඳහන් කළා.
මේ අතර, එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ශ්‍රී ලංකා තානාපති අරූෂා කුරේ මහත්මිය සඳහන් කළේ ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගනිමින් සිටින බවයි. කුවේට් හි ශ්‍රී ලංකා තානාපතිවරයා ඉල්ලා සිටින්නේ එහි වෙසෙන කිසිදු ශ්‍රී ලාංකිකයෙකු පිළිබඳව අනියත බියක් ඇති කර නොගන්නා ලෙසයි.

එමෙන්ම ගල්ෆ් කලාපයේ ඇති වී තිබෙන තත්ත්වය හමුවේ තවදුරටත් කටුනායක සිට මැදපෙරදිග බොහෝ ගමනාන්ත දක්වා ගුවන් ගමන් අත්හිටුවා තිබෙනවා.
ඒ අනුව දොහා, ඩුබායි, කුවෙට්, රියාද් සහ දමාම් අතර අදට නියමිත ගුවන් ගමන් වාර 10ක් අවලංගු කළ බව ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනය කළා.

මේ අතර, අමාත්‍යවරයා ඉල්ලා සිටින්නේ ශ්‍රී ලංකාවෙන් මැද පෙරදිග රටවල සිදු කෙරෙන අපනයන භාණ්ඩ නැව් ගත කිරීම් තාවකාලිකව අත්හිටුවන ලෙසයි. මේ අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති විශේෂ මාධ්‍ය හමුවේ දී කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය ‍නලින්ද ජයතිස්ස මහතා සඳහන් කලේ ගුවන් ගමන් අවලංගු වීම හේතුවෙන් රට තුළ සිර වී සිටින විදේශිකයන් යළි ඔවුන්ගේ රට වෙත යැවීම සඳහා විකල්ප මාර්ග සාකච්ඡා කරමින් සිටින බවයි.

Share