මැදපෙරදිග ඇතිව තිබෙන යුද ගැටුම් සමග ඇතිව තිබෙන අවිනිශ්චිතතා හේතුවෙන් ගෝලීය වෙළෙඳපොළේ තෙල් මිල සියයට 7කින් ඉහළ ගොස් තිබෙනවා.
බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඇමෙරිකානු ඩොලර් 82.37ක් ලෙස සටහන් වූ අතර එය පසුගිය වසරේ ජනවාරි මාසයෙන් පසු වාර්තා වූ ඉහළම අගයයි. WTI මිල පසුගිය වසරේ ජුනි මාසයෙන් පසු ඉහළම අගය ලෙස ඩොලර් 71.68ක් ලෙස සටහන් වී තිබෙනවා.
ලෝක තෙල් වෙළෙඳාමෙන් පහෙන් එකක් සිදුවන හෝර්මුස් සමුද්‍ර සන්ධිය වසා දැමීමට ඉරානයට කිසිදු අදහසක් නොමැති බව ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ප්‍රකාශ කර තිබිය දී වුවත් බොහෝ නාවුක සමාගම් එම සමුද්‍ර කලාපය මග හැරීමට තීරණය කර තිබෙන්නේ උද්ගතව ඇති යුද වාතාවරණය හේතුවෙන්.
ඒ අනුව අද උදෑසන ගෝලීය ඉන්ධන වෙළෙඳපොල කටයුතු ආරම්භ වීමත් සමග මිල ගණන් කැපී පෙනන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
පවතින තත්ත්වය තුළ තෙල් බැරලයක මිල ඩොලර් 100 ඉක්මවා යා හැකි බවට විශ්ලේෂකයින් අනතුරු අඟවනවා.
ලෝක වෙළෙඳ පොළේ තෙල් සැපයුම පිළිබඳ ආතීන් හමුවේ ඔපෙක් සංවිධානය තෙල් නිෂ්පාදනය කලින් සැලසුම් කළ පරිමාවට වඩා ඉහළ නැංවීමට සලකා බලමින් සිටින බව ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව හදිසි තත්ත්වය මත තෙල් නිෂ්පාදනය දිනකට බැරල් 411,000ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයකින් ඉහළ නැංවීමට අද පැවැත්වෙන ඔපෙක් රැස්වීමේදී සාකච්ඡා කරන බවයි සඳහන් වෙන්නේ.
මේ අතර මැදපෙරදිග පවතින යුධ ගැටුම් හේතුවෙන් ඉදිරියේදී රට තුළ ඉන්ධන අර්බුදයක් ඇති වනු ඇතැයි බියෙන් තවදුරටත් ජනතාව ඉන්ධන පෝලිම්වල රැඳී සිටිනවා. ඇතැම් ඉන්ධන පිරවුම් හල් ඉන්ධන නොමැතිව වසා දමා ඇති ආකාරයද දක්නට ලැබුණා. කෙසේවෙතත් බාධාවකින් තොරව ඉන්ධන බෙදාහැරීම අඛණ්ඩවම කරගෙන යනබව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා.
ඊයේ දිනයේ දී ඩීසල් ලීටර් තිස් ලක්ෂ අසු එක් දහස් තුන්සිය හතලිස් නවයක් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටර් තිස් නව ලක්ෂ විසිදහස් හාරසියයක් බෙදා හැරුණු බව ඇති බවයි සභාපතිවරය ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා පැවසුවා.
එමෙන්ම පොහොය දිනයක් වුවත් අදත් ඉන්ධන බෙදා හැරීමේ කටයුතු සිදුවනවා. මේ අතර රට තුළ පවතින ඉන්ධන තොග සම්බන්ධයෙන් බලශක්ති අමාත්‍ය ඉංජිනේරු කුමාර ජයකොඩි මහතා ද අදහස් පල කළා. මේ අතර මැදපෙරදිග අර්බුදය හමුවේ ඉන්ධන අනිසි ලෙස ගබඩා කරගැනීමට ජනතාව කටයුතු කරමින් සිටින බව නිරීක්ෂණය වී ඇති බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනයක් නිකුත් කරමින් පවසනවා
එහි දැක්වෙන්නේ එවැනි ක්‍රියා වැලක්වීම සදහා නැවත දැනුම් දෙන තුරු ධීවර යාත්‍රා, කර්මාන්ත ශාලා, කෘෂි කාර්මික කටයුතු සඳහා සහ ගෘහ කටයුතු සඳහා හැර ගැලුම්, බෝතල් හෝ වෙනත් දෑ සදහා ඉන්ධන නිකුත් නොකිරීමට ඉන්ධන හල් කළමනාකාරිත්වය සමග සාකච්ඡ කර අවශ්‍ය පියවර ගන්නා ලෙස සියලුම පොලිස් ස්ථාන දැනුවත් කර ඇති බවයි
මෙලෙස අනවශ්‍ය ලෙස ඉන්ධන රැස් කර ගබඩා කර තබා ගනිමින් වැඩි මිලට ඉන්ධන අලෙවි කිරීමේ ජාවාරම්වල නිරත මෙන්ම ඉන්ධන සම්බන්ධව සමාජ මධය ජාලා ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාර පල කරන පුද්ගලයින් හෝ කණ්ඩායම් පිළිබද සොයා බලා ඔවුනට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොලිසිය කටයුතු කරන බව ද අදාළ නිවේදනයේ සඳහන්.





