ඉරානය සමග ඇමෙරිකා-ඊශ්‍රායල ගැටුම තෙවන දිනට පිවිස ඇති අතර, සියලු පාර්ශ්වයන් මහා පරිමාණ ගුවන් ප්‍රහාර එල්ල කර ගනිමින් සිටිනවා.
එවන් පසුබික ට්‍රම්ප් අනතුරු අඟවන්නේ වොෂින්ටනයේ සියලු අරමුණු සාක්ෂාත් කරගන්නා තෙක් ඉරානයේ සටන් මෙහෙයුම් අඛණ්ඩව සිදුවන බවයි.
ඉරානයේ පිටුබලය ලබන හිස්බුල්ලා සංවිධානය ඊශ්‍රායලයට රොකට් ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ලෙබනනයේ ඉලක්ක වෙත ඊශ්‍රායලය ප්‍රහාර මාලාවක් දියත් කර තිබෙනවා. ඇමෙරිකා එක්සත් ජනපදය සහ ඊශ්‍රායලය ආරම්භ කළ ‘ඔපරේෂන් එපික් ෆියුරි’ යටතේ පළමු පැය 24 තුළ ඉරානයේ ඉලක්ක 1000කට වැඩි ප්රමාණයකයකට ප්‍රහාර එල්ල කළ බව ඇමරිකා එක්සත් ජනපද හමුදාවේ මධ්‍යම අණදෙන විධානය පවසනවා.
ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ ඉරාන නාවික හමුදාවට අයත් නෞකා 9ක් ගිල්වා දැමූ බවයි.
මෙහෙයුම අතරතුර ඉරාන ප්‍රහාරයකින් ඇමෙරිකානු හමුදා සාමාජිකයින් තිදෙනෙකු මිය ගොස් පස් දෙනෙකු බරපතළ තුවාල ලබා ඇති අතර එම ගණන තවත් “ඉහළ” යා හැකි බවත් මධ්‍යම අණදෙන විධානය සඳහන් කළා.
ඉරානයේ ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරන තවත් දර්ශන පෙලක් ද ඔවුන් මාධ්‍යයට මුදා හැර තිබුණා.
මේ අතර, ඔපරේෂන් එපික් ෆියුරි මෙහෙයුම ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් නිරීක්ෂණය කල ආකාරය දැක්වෙන ඡායාරුප මේ වනවිට සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වනවා.
එමෙන්ම ඇමරිකානු නාවික හමුදාවට අයත් ලොව විශාලතම යුද ප්‍රහාරක නෞකාව වන USS Gerald r Ford නෞකාව ද මෙම ප්‍රහාර සඳහා භාවිත කෙරුණා.
මේ අතර, ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් අමෙරිකානු නාවික හමුදාවට අයත් ‘යූඑස්එස් ඒබ්‍රහම් ලින්කන්’ ගුවන් යානා ප්‍රවාහන නෞකාවට කිසිදු හානියක් සිදුව නොමැති බව අමෙරිකානු බලධාරීන් තහවුරු කරනවා.
අල් ජසීරා පුවත් සේවය වෙත අදහස් දක්වමින් අමෙරිකානු නිලධාරියෙකු ප්‍රකාශ කර ඇත්තේ, ඉරානය එල්ල කළ මිසයිලය අදාළ නෞකාව වෙත ළඟා වීමට පෙරම අසාර්ථක වී ඇති බවයි.
මෙම ප්‍රහාරය හේතුවෙන් නෞකාවේ කිසිදු මෙහෙයුම් කටයුත්තකට බාධා සිදුව නොමැති අතර, එය සුපුරුදු පරිදි සිය රාජකාරි කටයුතුවල නිරතව සිටින බව ද එම වාර්තාවේ සඳහන්.
ටෘත් සෝෂල් හි වීඩියෝවක් පල කරමින් ඩොනල්ඩ් ට්‍රම්ප් පැවසුවේ සිය අරමුණු ඉටු කරගන්නා තෙක් යුද්ධය අඛණ්ඩව ක්‍රියාත්මක කරන බවයි. එවන් පසුබිමක ඉරානයට එරෙහිව ප්‍රහාර එල්ල කිරීම සඳහා මැදපෙරදිග පවත්වාගෙන යන යුද කඳවුරු භාවිතා කිරීමට අමෙරිකාව කළ ඉල්ලීමක් බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය කියර් ස්ටාර්මර් විසින් පිළිගෙන තිබෙනවා.
මේ අතර ඊශ්‍රායල – ඇමෙරිකා ඒකාබද්ධ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය මැදපෙරදිග ඇමෙරිකානු යුද කඳවුරු වෙත තවදුරටත් ප්‍රහාර එල්ල කරමින් සිටිනවා. ඩුබායි, දෝහා, බහරේනය, කුවේට්හි පිහිටි එක්සත් ජනපද හමුදා කඳවුරු ඉරානයේ ඉලක්ක වී තිබුණා. මේ අතර, උතුරු ඊශ්‍රායලයේ හයිෆා නගරය අසල පිහිටි හමුදා කඳවුරකට රොකට් සහ ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමෙන් පසු ඊශ්‍රායල ප්‍රහාරක යානා විසින් ලෙබනනයේ බීරූට්අගනුවර හිස්බුල්ලා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කර තිබෙනවා.
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ඝාතනය කිරීමට ප්‍රතිචාර ලෙස, හිස්බුල්ලා සංවිධානය විසින් මෙම ප්‍රහාරය එල්ල කළ බවයි වාර්තා වෙන්නේ.
තවදුරටත් ප්‍රහාර එල්ල කරන බවට අනතුරු අඟවමින් ලෙබනනයේ නගර සහ ගම්මාන 50කට වැඩි ගණනක පදිංචිකරුවන්ට ඉවත් වන ලෙස ඊශ්‍රායලය දැනුම් දී තිබෙනවා. මේ අතර ඉරානයේ ආරක්ෂක ප්‍රධානී අලි ලරිජානි, තම රට “එක්සත් ජනපදය සමඟ සාකච්ඡා නොකරන” බව X සටහනක් තබමින් පවසා තිබෙනවා.
ටෙහෙරානයේ නිලධාරීන් වොෂින්ටනය සමඟ සාකච්ඡා නැවත ආරම්භ කිරීමට සැලසුම් කරන බවට පළ වූ වාර්තාවකට ප්‍රතිචාර දක්වමින් ලරිජානි මෙසේ පැවසුවා.
ලරිජානි ඉරානයේ උත්තරීතර ජාතික ආරක්ෂක කවුන්සිලයේ ලේකම්වරයා වන අතර අභාවප්‍රාප්ත ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ උපදේශකයෙක්.





