ඉදිරි මාසයකට වැඩි කාලයක් සදහා ඉන්ධන සංචිත ප්‍රමාණවත් පරිදි පවතින බැවින් ඉන්ධන හිගයක් ඇති වනු ඇති බවට අනියත බියක් ඇති කර නොගන්නා ලෙස ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා
කෙසේවෙතත් මැදපෙරදිග පවතින ගැටුම්කාරී වාතාවරණය හමුවේ ඊයේ පස්වරුවේ සිට තවමත් ජනතාව ඉන්ධන පිරහුම්හල් අසල දිගු පෝලිම් වල සිටින ආකාරය දක්නට ලැබෙනවා.
ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභපතිවරයා පැවසුවේ මැයි මාසය දක්වා තෙල් තොග ඇනවුම් කර අවසන් බවයි.
එමෙන්ම අනවශ්‍ය ලෙස තෙල් තොග රැස් කර ගන්නා පුද්ගලයින්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලිසියට දැනුම් දී ඇතැයි සභාපතිවරයා පැවසුවා.
මැදපෙරදිග පවතින යුධ ගැටුම් හේතුවෙන් ඉදිරියේදී ඉන්ධන අර්බුදයක් හටගනු ඇතැයි යන බියෙන් ප්‍රදේශ රැසක ජනතාව ඊයේ පස්වරුවේ සිට තවමත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම්වල රැඳීසිටින ආකාරය දක්නට ලැබෙනවා.
මේ අතර කල්මුනේ ඉන්දන පිරවුම් හල් ඉදිරියේ නොසන්සුන් තත්ත්වයක් ද ඇති වුණා.
මේ අතර කෑන්වලට ඉන්ධන ලබා ගැනීමට ගාල්ල නගරයේ පිරවුම්හලකට පැමිණි පිරිසක් ඉවත් කිරීමට පොලිසිය පියවර ගත්තා.
ප්‍රවාහන සංගම් ද උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් අදහස් පල කළා.
කෙසේ වෙතත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව අවධාරණය කරන්නේ රට තුළ තෙල් හිඟයක් ඇති වීමේ කිසිදු අවදානමක් නොමැති බවයි.
රට තුළ දින 37කට ප්‍රමාණවත් පෙට්‍රල් තොග ඇතැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සභාපති ඩී.ජේ.රාජකරුණා මහතා සඳහන් කළා.
ඩීසල් තොගය දින 35කට ප්‍රමාණවත්.
ගුවන් යානා ඉන්ධන දවස් 47කට ප්‍රමාණවත්ව පරිදි ඇති බවයි සභාපතිවරයා වැඩිදුරටත් සදහන් කළා.
ලංකා ඛනිජ තෙල් බෙදුම්කරුවන්ගේ සංගමය ද පවසන්නේ රට තුළ ඉන්ධන හිඟයක් නොමැති බවයි.
මෙවන් පසුබිමක පෙට්‍රල් සහ ඩීසල් ඇතුළු ඉන්ධන වර්ග තුනක මිල ඉහළ දැමීමට පියවර ගත් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව ඊයේ රාත්‍රී නිවේදනය කළා.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල රුපියල් 4 කින්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 6 කින් සහ ඔක්ටේන් 92 පෙට්‍රල් ලීටරයක මිල රුපියලකින් ඉහළ නංවනු ලැබුවා.
භූමිතෙල් සහ ඔක්ටේන් 95 පෙට්‍රල් මිල සංශෝධනය කෙරුණේ නැහැ.





