ගාඩියන් කවුන්සිලයේ පූජක සාමාජිකයෙකු වන අලිරේසා අරාශි ඉරානයේ අන්තර්කාලීන උත්තරීතර නායකයා ලෙස පත්කර

ටෙහෙරාන් අගනුවරට එල්ල වූ අමෙරිකා – ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායක අලි කමේනි ජීවිතක්ෂයට පත් වීමත් සමග ඒ බව ඇමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පළමුව ලෝකයට අනාවරණ කළ අතර පසුව ඉරාන මාධ්‍ය ඒ බව වාර්තා කළා.
මේ අතර ගාඩියන් කවුන්සිලයේ පූජක සාමාජිකයෙකු වන අලිරේසා අරාශි ඉරානයේ අන්තර්කාලීන උත්තරීතර නායකයා ලෙස පත්කර තිබෙනවා.
උත්තරීතර නායකයාගේ මරණය වෙනුවෙන් ඉරානය තුළ දින 40ක ශෝක කාලයක් ද ප්‍රකාශයට පත් කරනු ලැබුවා.
ඉරානයේ ටෙහෙරානයට එල්ල වූ ඇමරිකානු සහ ඊශ්‍රායල ඒකාබද්ධ ප්‍රහාරවලින් ඉරාන උත්තරීතර නායක අල් කමේනි ඇතුලු එරට රජයේ ඉහළ පෙලේ නිලධාරීන් 40 දෙනෙකු මියගොස් තිබෙනවා.
කමේනිගේ මරණය මුලින්ම ලෝකයට නිවේදනය කළේ ඇමෙරිකානු ජනාධිපතිවරයායි.
ඔහු ටෘත් සෝෂල් හි සටහනක් තබමින් පැවසුවේ ඉතිහාසයේ වඩාත් ම නපුරු මිනිසුන්ගෙන් කෙනෙකු වුණු කමේනි මිය ගොස් ඇති බවයි.
“ඉතිහාසයේ වඩාත්ම නපුරු මිනිසුන්ගෙන් කෙනෙකු වන කමේනි මිය ගොස් ඇත. මෙය ඉරානයේ ජනතාවට පමණක් නොව, සියලුම ශ්‍රේෂ්ඨ ඇමරිකානුවන්ට සහ ලොව පුරා බොහෝ රටවල ජනතාවට, කමේනි සහ ඔහුගේ ලේ පිපාසිත මැර කල්ලිය විසින් මරා දැමූ හෝ විකෘති කරන ලද අයට යුක්තියකි. අපගේ බුද්ධි අංශ සහ ඉතා නවීන ලුහුබැඳීමේ පද්ධති මඟ හැරීමට ඔහුට නොහැකි විය.ඉරාන ජනතාවට තම රට ආපසු ලබා ගැනීමට ඇති එකම ලොකුම අවස්ථාව මෙයයි. IRGC සහ පොලිසිය ඉරාන දේශප්‍රේමීන් සමඟ සාමකාමීව ඒකාබද්ධ වී, රට ලැබිය යුතු ශ්‍රේෂ්ඨත්වයට ගෙන ඒම සඳහා ඒකකයක් ලෙස එකට වැඩ කරනු ඇතැයි බලාපොරොත්තු වේ.”
ඉන් ටික වේලාවකට පසු ඉරාන රාජ්‍ය මාධ්‍ය සිය උත්තරීතර නායකයාගේ මරණය නිල වශයෙන් නිවේදනය කළා.
එහිදී රූපවාහිනී නිවේදකයින් හඬා වැටෙන අයුරු ද දක්නට ලැබුණා.
මේ අතර ඊශ්‍රායලයේ චැනල් 12 නාළිකාව වාර්තා කළේ ඊශ්‍රායල ගුවන් හමුදාව ඊයේ දියත් කළ පළමු ප්‍රහාරයේ මිනිත්තු භාගයක් ඇතුළත ඉරානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 40 දෙනෙකු සමඟ ඉරානයේ උත්තරීතර නායක අලි කමේනි ඝාතනය කිරීමට හැකි වූ බවයි.
ප්‍රහාරයෙන් ඉරානයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක අලි ෂම්කානි, ඉරාන විප්ලවවාදී ආරක්ෂක බළකායේ අණදෙන නිලධාරී මොහොමඩ් පක්පූර් ,ආරක්ෂක අමාත්‍ය අසීස් නසීර්සාදේ , ඉරාන සන්නද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී අබ්දුල් රහීම් ගිය බව ඊශ්‍රායල ආරක්ෂක හමුදාව සමාජ මාධ්‍ය සටහනක් තබමින් නිවේදනය කළා.
අයතුල්ලා අලි කමේනි 1989 සිට ඉරානයේ උත්තරීතර නායකයා වන අතර, 1979 විප්ලවයෙන් පසු ඔහු රටේ දෙවන නායකයා බවට පත්වුණා.
ඔහු බලයේ නොමැති ජීවිතයක් තරුණ ඉරාන ජාතිකයන් කිසි දා දැන සිටියේ නැහැ.
ඔහු ප්‍රධාන බලයක් දරන අතර, ඕනෑ ම ප්‍රතිපත්තියක් අවහිර කිරීමට සහ විවිධ බල කණ්ඩායම් තුලනය කරමින්, රාජ්‍ය ප්‍රතිපත්ති පිළිබඳ ඕනෑ ම කාරණයක් නිෂේධ කිරීමට සහ රාජ්‍ය තනතුරු සඳහා අපේක්ෂකයින් තෝරා ගැනීමට ඔහුට හැකියාව තිබෙනවා.
රාජ්‍ය නායකයා සහ ඉරාන විප්ලවවාදී ආරක්ෂක බලකාය ඇතුළු හමුදාවේ සේනා විධායකයා ලෙස, ඔහුගේ තනතුර ඔහුව බලවත් තැනැත්තෙකු බවට පත් කරනු ලැබුවා.
ඔහු 1939 දී ඉරානයේ දෙවන විශාලතම නගරය වන මෂාඩ්හි උපත ලැබුවා.
ආගමික පවුලක දරුවන් අට දෙනාගෙන් දෙවැන්නා වූ ඔහුගේ පියා ඉරානයේ ප්‍රමුඛ නිකාය වන ඉස්ලාම් ආගමේ ෂියාවරුන්ගේ මධ්‍යම පෙළේ පූජකයෙකි.
අලි කමේනිගේ අභාවයත් සමග ඉරානය තුළ දින 40ක ශෝක කාලයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.
මේ අතර ගාඩියන් කවුන්සිලයේ පූජක සාමාජිකයෙකු වන අලිරේසා අරාශි ඉරානයේ අන්තර්කාලීන උත්තරීතර නායකයා ලෙස පත්කර තිබෙනවා.
ඉරානයට නව උත්තරීතර නායකයෙකු තෝරා පත් කර ගන්නා තෙක් උත්තරීතර නායකයාගේ භූමිකාව ඉටු කිරීමේ කාර්යය ඔහුට පැවරී ඇති බවයි වාර්තා වන්නේ. ඉරාන ව්‍යවස්ථාවට අනුව ඉරානයේ ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන්, අධිකරණ ප්‍රධානියා සහ ගාඩියන් කවුන්සිලයේ නීතිවේදියෙකුගෙන් සමන්විත ත්‍රිපුද්ගල කවුන්සිලයක් කමේනිගේ අභාවයෙන් පසු සංක්‍රාන්ති කාලය අධීක්ෂණය කරන බව ඉරාන රජය නිවේදනය කළා.
මේ අතර උත්තරීතර නායකයාගේ ඝාතනය සම්බන්ධයෙන් ශෝකය පළ කිරීම සඳහා කමේනිගේ ආධාරකරුවන් ටෙහෙරාන් සහ ඉස්ෆහාන් ඇතුළු ප්‍රධාන ඉරාන නගරවල වීදි බැස විවිධ සටන් පාඨ කියමින් ගමන් කරන අයුරුද විදේස මාධ්‍ය වාර්තා කරනවා.
මේ අතර කමේනිගේ මරණය සැලවීමත් සමග ඉරානයේ ඇතැම් ප්‍රදේශවල ජනතාව වීථි බැස ප්‍රීති‌ඝෝෂා නගන අයුරුද දක්නට ලැබුණා.
එමෙන්ම ලොව පුරා රටවල ජනතාව ද ඉරාන නායකයාගේ මරණයත් සමග ප්‍රීතිවන දර්ශන ජනමාධ්‍ය වාර්තා කළා.
මේ අතර ඉරාන නායකයා ඝාතනයෙන් ප්‍රකෝපයට පත් පිරිසක් පාකිස්ථානයේ කරච්චි හි පිහිටි අමෙරිකානු කොන්සල් කාර්යාලය වෙත කඩා වැදී තිබෙනවා.
එහි දි සිදු වූ වෙඩි තැබීමකින් විරෝධතාකරුවන් 11 දෙනෙක් මිය ගොස් තිබෙනවා.
තවත් පුද්ගලයින් 23 දෙනෙක් පමණ තුවාල ලබා ඇතැයි සඳහන්.
මෙය ආගමික නායකයෙකු ඝාතනය කිරීමට ප්‍රතිචාර වශයෙන් සාමාන්‍ය ජනතාව එක්සත් ජනපද කොන්සල් කාර්යාලය ඉදිරිපිට සිදුකළ මහජන විරෝධතාවක් බව මජ්ලිස්-ඊ-වහ්දත් මුස්ලිම්හි ප්‍රකාශකයෙකු පැවසුවා.
ඔහු සඳහන් කළේ විරෝධතාකරුවන්ට කොන්සියුලර් කාර්යාලයේ ඇතුළත සිට වෙඩි තැබූ බවයි.
කෙසේ වෙතත් විරෝධතාකරුවන්ට වෙඩි තැබුවේ කවුරුන් විසින් ද යන්න පිළිබඳව පොලිසිය හෝ බලධාරින් මේ දක්වා කරුණු පැහැදිලි කර නැහැ.
ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා කමේනි ඇමෙරිකානු සහ ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගිය බව තහවුරු වීමෙන් පසුව, ලොව පුරා විවිධ රටවල ඇමෙරිකානු තානාපති කාර්යාල සහ කොන්සල් කාර්යාල අසළ සහ නගරවල විරෝධතා වාර්තා වී තිබෙනවා.
ඉරාකයේ බැග්ඩෑඩ් හි විරෝධතාකරුවන් ඇමෙරිකානු තානාපති කාර්යාලය පිහිටා ඇති ආරක්ෂිත ප්‍රදේශයට කඩා වැදීමට උත්සාහ කිරීමේ දී උණුසුම් තත්ත්වයක් ඇතිවුණා.
ඔවුන් විසුරුවා හැරීමට ජල හා කඳුලු ගෑස් ප්‍රහාර ද එල්ල කළා.
මේ අතර කමේනිගේ ඝාතනය “ලෝකයේ සෑම අස්සක් මුල්ලක් නෑරම මුස්ලිම්වරුන්ට, විශේෂයෙන් ෂියාවරුන්ට එරෙහි විවෘත යුද්ධයක්” බව ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් පවසනවා.ඉරාන රජයේ නිල ටෙලිග්‍රෑම් නාලිකාවේ ප්‍රකාශයට පත් කරන ලද ප්‍රකාශයක, පෙසෙෂ්කියන් පවසන්නේ ඉරානය “මෙම ඓතිහාසික අපරාධයේ අපරාධකරුවන්ට සහ පෙළඹවීම්කරුවන්ට එරෙහිව ලේ වැගිරීම් සහ පළිගැනීම ඔවුන්ගේ නීත්‍යානුකූල යුතුකම සහ අයිතිය ලෙස සලකන අතර, මෙම ශ්‍රේෂ්ඨ වගකීම සහ යුතුකම ඉටු කිරීමට උපරිම උත්සාහයක් දරනු ඇති” බවයි.

Share