මැදපෙරදිග කලාපයේ උද්ගතවී ඇති ගැටුම්කාරි තත්ත්වය වේගයෙන් උත්සන්නවීම පිළිබඳ ශ්‍රී ලංකා රජය සිය කනස්සල්ල ප්‍රකාශයට පත් කර තිබෙනවා.
විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, මෙය කලාපීය ස්ථාවරත්වයට, ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට බරපතළ තර්ජනයක් බවයි.
මෙම තත්ත්වය සමනය කිරීම සඳහා උපරිම සංයමයෙන් කටයුතු කරන ලෙසත් ගැටුම්කාරි තත්ත්වයට සමනය කිරීමට සඳහා ක්ෂණික හා තීරණාත්මක පියවර ගන්නා ලෙසත් ශ්‍රී ලංකාව මෙයට සම්බන්ධ සියලු පාර්ශවයන්ගෙන් ඉල්ලා සිටිනවා.
බරපතළ මානුෂීය හා ආර්ථික බලපෑම් සහිත පුළුල් කලාපීය ගැටුමක අවදානම වැළැක්වීම සඳහා සියලු පාර්ශ්වයන් තවදුරටත් ප්‍රකෝපකාරී පියවරන්ගෙන් වැළකී සිටිය යුතු බව ද ශ්‍රී ලංකා රජය වැඩිදුරටත් ඉල්ලීමක් කළා.
එසේම තවත් නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යංශය අද දහවල් සඳහන් කළේ කලාපයේ ජීවත් වන සහ සේවය කරන මිලියනයක පමණ ශ්‍රී ලාංකිකයින්ගේ ආරක්ෂාව සහ යහ පැවැත්වීම රජය ඉහළම ප්‍රමුඛතාවක් ලෙස සලකන බවයි.
පවතින කලාපීය අස්ථාවරත්වය සැලකිල්ලට ගනිමින් මැදපෙරදිග සිටින ශ්‍රී ලාංකික පුරවැසියන්ට සුපරික්ෂාකාරීව කටයුතු කරන ලෙස එම අමාත්‍යංශය වැඩිදුරටත් ඉල්ලා සිටින්නේ කරුණු කිහිපයක් පිළිබඳ අවධානය යොමු කරමින්.
විශ්වාසදායක දේශීය මාධ්‍ය සහ සත්කාරක රටේ නිල මාධ්‍ය නිවේදනයට අනුව කටයුතු කිරීම, අත්‍යවශ්‍ය නොවන සංචාර සහ විශාල මහජන රැස්වීම්වලට සහභාගි නොවීම එම කරුණු අතර වනවා.
එසේම ළඟම ඇති ශ්‍රී ලංකා රාජ්‍ය තාන්ත්‍රික දූත මණ්ඩල සමඟ නිරන්තරයෙන් සබඳතා පවත්වා ගැනීම, ජංගම දුරකථනය ආරෝපණය කර ළඟ තබා ගැනීම මෙන්ම සෑම විටම වලංඟු හැදුනුම්පත් හා ලේඛන ළඟ තබා ගන්නා ලෙසත් විදේශ කටයුතු අමාත්‍යංශය මැද පෙරදිග සිටින සියලු ශ්‍රී ලාංකිකයින්ගෙන් ඉල්ලා සිටිනවා.
එමෙන්ම පවතින තත්ත්වය හමුවේ 1989 හදිසි දුරකතන අංකය ඔස්සේ විදේශ සේවා නියුක්ති කාර්යංශය පැය 24 පුරා ක්‍රියාත්මක කරන මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ විය හැකියි.
එමෙන්ම 0094 71 980 2822 මගින් වට්ස්ඇප් ඔස්සේ ද මෙහෙයුම් මැදිරිය හා සම්බන්ධ විය හැකි බව විදේශ කටයුතු අමාත්‍යංශය නිවේදනය කළා.
එමෙන්ම, ශ්‍රී ලාංකිකයන් සඳහා හදිසි දුරකථන අංක මාලාවක් ද නිකුත් කර තිබෙනවා.
ඒ අනුව, බහරේන්, ඉරානය, ඊශ්‍රායලය, ජෝර්දානය, සෞදි ආරාබිය, කුවේටය, ලෙබනනය, සිරියාව, යේමනය, ඕමානය, පලස්තීනය, කටාරය, එක්සත් අරාබී එමීර් රාජ්‍යයේ අබුඩාබි සහ ඩුබායි මෙන්ම තුර්කියේ සිටින ශ්‍රී ලංකිකයින්ට අදාළ තානාපති කාර්යාල, කොන්සල් කාර්යාල හා දූත මණ්ඩල හා සම්බන්ධ වී අවශ්‍ය තොරතුරු ලබා ගැනීමට අවස්ථාව සලසා දී තිබෙනවා.
මැදපෙරදිග කලාපයේ දැනට ශ්‍රී ලාංකිකයන් දසලක්ෂ හත්දහස් අටසියය පනස් පස් දෙනෙක් ජීවත්වනවා.
වැඩිම පිරිස වන 350,000ක් සිටින්නේ එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ.
සෞදි අරාබියේ 246,139 දෙනෙකු සිටින අතර කුවෙට් හි 175,000ක් සහ කටාර් හි 140,000ක් ජීවත්වනවා.





