ඒකාබද්ධ ප්‍රහාරයට ප්‍රතිචාර ලෙස ඉරානය ගල්ෆ් කලාපයේ ඇමෙරිකානු හමුදා ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් සිටිනවා.
අද උදෑසන දෝහාහි දරුණු පිපිරීම් මාලාවන් සමගක් ඇසුණු අතර නගරයේ දුම් වළාවක් දිස්වූ බව බිබීසී වාර්තාකාරිනිය පැවසුවා.
ඉරාන රාජ්‍ය ප්රවෘත්ති ඒජන්සිය වාර්තා කළේ ගුවන් හමුදා නියමුවන් ගල්ෆ් රටවල සහ ඉරාකයේ කුර්දිස්තාන් කලාපයේ ඇමරිකානු කඳවුරුවලට සාර්ථකව බෝම්බ හෙලූ බවයි.
නියමුවන් අදියර කිහිපයකින් කඳවුරුවලට සාර්ථකව පහර දුන් බව ඉරාන හමුදාව පැවසුවා.
අද උදෑසන ඕමානයේ මුසන්දම් සිට නාවික සැතපුම් පහක් පමණ දුරින් ඉන්ධන ප්‍රවාහන නෞකාවට ප්‍රහාරයක් එල්ල වූ බව ඕමාන සමුද්‍ර ආරක්ෂක මධ්‍යස්ථානය පවසනවා.
ප්‍රහාරයෙන් තුවාල ලැබූ සිව්දෙනෙක් ඇතුලු 20 දෙනෙකුගෙන් යුත් මුළු කාර්ය මණ්ඩලයම ඉවත් කර ගෙන ඇතැයි වාර්තා වනවා.
එමෙන්ම ඕමානයේ ඩුක්ම් වරායට එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් විදෙස් ජාතික සේවකයෙක් තුවාල ලබා තිබෙනවා.
මේ අතර ඉරානය ඊයේ දිනයේ දීත් ගල්ෆ් කලාපය පුරා ප්‍රහාර මාලාවක් දියත් කළා.
එලෙස එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාරයකින් කුවෙට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට හානි සිදුව ඇති අතර සේවකයින් කිහිප දෙනෙකුට ‘සුළු තුවාල’ සිදුව තිබෙනවා.
එමෙන්ම, බහරේන් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ද ඉරානයේ ඉලක්කයක් වී තිබුණා.
බහරේන් හි පිහිටි මෙරිකා එක්සත් ජනපද නාවික හමුදාවේ පස්වැනි බලඇණියේ සේවා මධ්‍යස්ථානයට ද ඉරානය පහර දුන්නා.
ලෝකයේ කාර්යබහුලම ගුවන් සේවා කේන්ද්‍රස්ථානයක් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සහ අල් මක්ටූම් ගුවන් තොටුපල ද ප්‍රහාරයට ලක් වුණා
ඩුබායි ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ප්‍රහාරයෙන් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා ඇති බව එරට රජය පවසනවා.
එමෙන්ම ඩුබායි හමුදාව විසින් විනාශ කරන ලද ඩ්‍රෝන යානයක සුන්බුන් නිසා ජෙබෙල් අලි වරායේ පර්යන්තයක ගින්නක් ඇති වී තිබෙනවා.
අබුඩාබියේ සෙ(z)යීඩ් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිදු වූ පිපිරීමකින් ආසියානු ජාතිකයෙක් මියගොස් තවත් හත් දෙනෙකු තුවාල ලැබූ බව රජය සඳහන් කළා.
එමෙන්ම ඩුබායි ඩුබායි පාම් ජුමෙයිරා හි ප්‍රදේශයට ද ඉරාන ප්‍රහාරයක් එල්ල වී තිබෙනවා.
කටාර් රාජ්‍යයට එල්ල වී ඇති ඉරාන මිසයිල ප්‍රහාර ගණන 66ක්.
මිසයිල කැබලි වැටීමෙන් 8 දෙනෙකු තුවාල ලබා ඇතැයිද ඉන් එක් අයෙකුගේ තත්ත්වය බරපතළ බවද සඳහන් කළ කටාර් අභ්‍යන්තර කටයුතු අමාත්‍යවරයා රට පුරා මිසයිල කැබලි 114ක් කඩා වැටී ඇති බව සඳහන් කළා.
අබුඩාබි හි එතිහාඩ් ටවර්ස් සංකීර්ණයේ නේවාසික ගොඩනැගිල්ලක ඩ්‍රෝන යානයක සුන්බුන් ගැටීමෙන් කාන්තාවක් සහ ඇගේ දරුවා තුවාල ලැබුවා.
මේ අතර මිසයිල සහ ඩ්‍රෝන ප්‍රහාර මාලාවක් ඊශ්‍රායලයට ද එල්ල වුණා.
ප්‍රහාර හේතුවෙන් ටෙල් අවිව් හි මහල් නිවාස ගොඩනැගිල්ලක් විනාශ වී තිබෙනවා.
ඊශ්‍රායලයට එල්ල වූ ප්‍රහාරවලින් කාන්තාවක් මිය ගොස් තවත් 120 දෙනෙකු තුවාල ලබා ඇති බව එරට බලධාරීන් පවසනවා.
මේ අතර ලෝකයේ දිනකට පරිභෝජනය කරන බොරතෙල් ප්‍රමාණයෙන් 20%ක් පමණ ගමන් කරන ජාත්‍යන්තර සමුද්‍ර සන්ධියක් ලෙස සැලකෙන හෝමුස් සමුද්‍ර සන්ධිය ඉරානය විසින් වසා දමා තිබෙනවා.
සෞදි අරාබිය, ඉරාකය, එක්සත් අරාබි එමීර් රාජ්‍යය සහ කුවේට් රාජ්‍යය යන රටවලින් අපනයනය කරන බොරතෙල් ලෝකයට රැගෙන යාමට ඇති ප්‍රධානතම සහ එකම මුහුදු මාර්ගය මෙයයි.
මෙය වසා දැමීමෙන් ලෝකයේ තෙල් සැපයුමෙන් පහෙන් එකක් එකවර නතර වනවා.





