සනත් ජයසූරිය ශ්‍රී ලංකා ක්‍රිකට් ප්‍රධාන පුහුණුකාර ධුරයෙන් අද සමුගනී

T20 ලෝක කුසලාන තරගාවලියේ සුපිරි 8 දෙනාගේ වටයට පහසුවෙන් පිවිසීමට නවසීලන්තයට තිබූ අවස්ථාව ඊයේ අහිමි වුණා. ඊට හේතු වුණේ එංගලන්තය අවසන් පන්දු වාරයේ නවසීලන්තය පරාජය කරමින් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමයි. ඒ අනුව දෙවැනි කාණ්ඩයේ අවසන් පුර්ව වටයට පිවිසෙන කණ්ඩායම තීරණය කෙරන තරගය ශ්‍රී ලංකාව සහ පාකිස්තානය අතර අද පැවැත්වෙනවා.

තරගාවලියේ දේශීය නිදහස් සංඛ්‍යාත ඔස්සේ විකාශන අයිතිය හිමිව ඇත්තේ ටී.වී සුප්‍රීම් වෙතයි. කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවති තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසීලන්ත කණ්ඩායම පළමුව පන්දුවට පහර දී කඩුලු 7ක් දැවී ලකුණු 159ක් රැස් කළා. ලකුණු 160ක ඉලක්කය කඩුලු හයක් පමණක් දැවී තිබිය දී 19 වැනි පන්දුවාරයේ තුන්වැනි පන්දුවේදී සපුරා ගැනීමට එංගලන්තයට හැකි වුණා. එංගලන්තය ලද මෙම ජයත් සමග සුපිරි 8 දෙනාගේ වටය අපරාජිතව නිමා කළා. ඒත් සමගින් පහසුවෙන්ම අවසන් පූර්ව වටයට පිවිසීමට ඇති අවස්ථාව නවසීලන්තයට අහිමි වුණා. මෙම තරගය ජයගත්තේ නම් නවසීලන්තය ප්‍රසාද ලකුණු 5ක් සමගින් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා. නමුත් දැන් ඔවුන්ට හිමි ව ඇත්තේ ලකුණු 3ක් පමණක්.වන අතර අද තරගය පාකිස්තානය ජය ගතහොත් ඔවුන්ට ද ලකුණු 3ක් හිමි වනවා. ඒ අනුව දල ලකුනු වේගය අනුව අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම තීරණය වනු ඇති.

පාකිස්තානයට අවසන් පූර්ව වටයට පිවිසීමට නම් පළමුව පන්දුවට පහර දී ශ්‍රී ලංකාව ලකුණු 64කින් පරාජය කළ යුතුයි.දෙවැනි වර පන්දුවට පහර දුනහොත් ජයග්‍රාහී ඉලක්කය පන්දුවාර 13. 1කදී සපුරා ගත යුතු වනවා. එසේ නොවන අවස්ථාවක නවසීලන්තය අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබනවා. මෙම තීරණාත්මක තරගය අද රාත්‍රි 7ට පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වනවා. මේ අතර අද පැවැත්වෙන ශ්‍රී ලංකාව සහ පාකිස්ථාන තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා ධුරයෙන් ඉවත් වීමට තීරණය කර ඇතැයි වාර්තා වනවා. ඔහු විසින් මේ පිළිබඳව ලෝක කුසලාන තරගාවලිය ආරම්භවීමට පෙර සිටම ප්‍රකාශ කර තිබූ අතර මේ දක්වා ඔහු ගත් තීරණයේ වෙනසක් සිදුවන බව ප්‍රකාශ කර නැහැ. 2024 ජූලි මාසයේදී ඉන්දියාවට එරෙහිව පැවති තරගාවලියේදී තාවකාලික පුහුණුකරු ලෙස වගකීම භාරගත් සනත් ජයසූරිය මහතා එම වසර අවසානයේදී පූර්ණ කාලීන ප්‍රධාන පුහුණුකරු ලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් පත් කරනු ලැබුවා. ඔහුගේ පුහුණුකාරීත්වය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම සියලු ආකෘති යටතේ තරග 74ක් ක්‍රීඩා කර ඇති අතර එහිදී ජයග්‍රහණ 34ක් සහ පරාජයන් 38කට මුහුණු දීමට සිදුවූ අතර තවත් තරග 2ක් ජය පරාජයෙන් තොරව අවසන් වුණා.

Share