දකුණු අප්‍රිකානු කණ්ඩායමට කඩුළු 9 ක පහසු ජයග්‍රහණයක්

2026 පන්දුවාර 20 ක්‍රිකට් තරගාවලියේ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සහ දකුණු අප්‍රිකානු කණ්ඩායම අතර සුපිරි 8 දෙනාගේ වටයේ තරගයෙන් දකුණු අප්‍රිකානු කණ්ඩායම කඩුළු 9 ක පහසු ජයග්‍රහණයක් අත්කර ගත්තා.
ඒ අපරාජිතව පන්දුවාර 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් පූර්ව වටයට පහසුවෙන්ම සුදුසුකම් ලබා ගනිමින්.
ඒ, ඉන්දීය කණ්ඩායමේ අවසන් පූර්ව වටයට පිවිසීමේ බලාපොරොත්තු තවදුරටත් දුරස් කරමින්.

ඉන්දියාවේ අහ්මදාබාද් නරේන්ද්‍ර මෝදී ක්‍රීඩාංගනයේ දී පැවති මේ තරගයේ කාසියේ වාසිය සතුකර ගත්තේ දකුණු අප්‍රිකානු කණ්ඩායමයි.
ඔවුන් දෙවරක් නොසිතාම පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව බටහිර ඉන්දීය කොදෙව්වන්ට ලබාදුන්නා.
තරගයේ 10 වන ඕවරය නිමාවන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ කඩුළු 7ක් බිඳ වැටී තිබුණේ ලකුණු 83ක් පුවරුවේ සටහන් වී තිබියදී.
බටහිර ඉන්දීය කොදෙව්වන් වැටී සිටි අසරණ තත්ත්වයෙන් ගොඩ ගත් රොමාරියෝ ෂෙපර්ඩ් සහ ජේසන් හෝල්ඩර් දෙදෙනා 8 වැනි කඩුල්ලට වාර්තාගත ලකුණු 89ක සම්බන්ධතාවක් ගොඩ නැඟුවා.
ඒ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමට සටනක් දිය හැකි ලකුණු සංඛ්‍යාවක් පුවරුවේ එක්කරමින්.
ඒ අනුව නියමිත පන්දු වාර 20 අවසන් වන විට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම කඩුලු අටකට ලකුණු 176ක් රැස්කර ගත්තා.
පන්දු යැවීමේදී දකුණු අප්‍රිකානු කණ්ඩායම වෙනුවෙන් ඉන්ගී ලුන්ගිඩී කඩුලු තුනක් දවා ගත් අතර කගීසෝ රාබාඩා සහ කෝබියෙන් බොෂ් අතරේ කඩුලු දෙක බැගින් බෙදී ගියා
කෙසේ වෙතත් ලකුණු 177ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය දකුණු අප්‍රිකානු කණ්ඩායම බටහිර ඉන්දීය කොදෙව් පන්දු යවන්නන් තඹයට මායිම් නොකරමින් ප්‍රවේගකාරී පිතිහරඹයක නිරත වුණා.
ආරම්භක පිතිකරුවන් යුගල වන ඒඩ්න් මැක්‍රම් සහ ක්වින්ටන් ඩි කොක් දෙදෙනා පළමු කඩුල්ල සඳහා ලකුණු 95ක සම්බන්ධතාවක් ගොඩ නැඟුවේ පන්දු 48ක් තුළදීයි.
එම සම්බන්ධතාව ලකුණු 47ක් ලබා සිටි ක්වින්ටන් ඩි කොක් දැවී යාමත් සමඟ බිඳ වැටුණා.
කෙසේ වෙතත් පිටියේ ස්ථාවරව සිටි ඒඩ්න් මැක්‍රම් සමඟ එක් වූ රයන් රිකල්ටන් දකුණු අප්‍රිකානු කණ්ඩායම සුරැකිව ජයග්‍රහණය කරා කැඳවාගෙන ගියේ පන්දු ඕවර 16යි එක් පන්දුවක් තුලදීයි.
ඒඩ්න් මැක්‍රම් නොදැවී ලකුනු 82යි, රයන් රිකල්ටන් නොදැවී ලකුනු 45යි.

Share