අකුරේගොඩ ඝාතනය විමර්ශනයට කණ්ඩායම් 10ක්

තලංගම, අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළෙඳ සැලක් ඉදිරිපිටදී නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ ඊයේ පස්වරුවේ වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ විමර්ශන කටයුතු සඳහා පොලිස් කණ්ඩායම් 10ක් ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ වුට්ලර් මහතා පවසනවා.
වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරෙන මෝටර් රථයේ ලියාපදිංචි අංක ඔස්සේ තවදුරටත් පුළුල් කළ විමර්ශන කටයුතු සඳහා මහජන සහයද ලබා ගනිමින් සිටින බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

තලංගම, අකුරේගොඩ, ප්‍රදේශයේ සුපිරි වෙළෙඳසැලක් ඉදිරිපිට එහි රථගාලේ ගාල් කර තිබූ මෝටර් රථයක සිටි යුවලක් ඉලක්ක කරගනිමින් මෙම වෙඩිතැබීම සිදුව ති‍බුණේ ඊයේ පස්වරු 5ට පමණ.
මෙම වෙඩි ප්‍රහාරයෙන් අදාළ යුවල එම ස්ථානයේදීම ජීවිතක්ෂයට පත්වූ අතර වෙඩික්කරුවන් පළාගොස් තිබුණා.
‍වෙඩි ප්‍රහාරයෙන් මියගොස් ඇත්තේ බුද්ධික මල්ලවාරච්චි නැමති නීතිඥවරයෙකු සහ ඔහුගේ බිරිඳ බවට පොලිසිය අනාවරණ කරගෙන තිබෙනවා.
කෙසේ වෙතත් මියගිය නීතිඥවරයා, දැනට විදෙස්ගතව සිටින සංවිධානාත්මක අපරාධකරුවෙකු සහ ප්‍රභල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ලෙස සැලකෙන “කරන්දෙණිය සුද්දා” ගේ අධිකරණ කටයුතු සහ නීති කෘත්‍ය්‍යන් වෙනුවෙන් පෙනී සිට ඇති බවට මේ වන විට දැඩි කතා බහක් මතුව තිබෙනවා.
මෙම නීතිඥවරයා, සිය සේවාදායකයාගේ නීති කෘත්‍යයන් සඳහා අදාළ වූ තොරතුරු “ලොකු පැටී” නම් වෙනත් සංවිධානාත්මක අපරාධකරුවකු වෙත ලබාදුන් බව කියන සිද්ධියක් පදනම්ව “කරන්දෙණිය සුද්දා” විසින්ම මෙම ඝාතනය මෙහෙයවා ඇති බවට කරුනු පල වෙතත් පොලිසිය විසින් එය මෙතෙක් තහවුරු කර නැහැ.
අම්බලන්ගොඩ, මෝදර දේවාල කම්ටු සභාපති වරුෂ විතාන වෙඩිතබා ඝාතනය කිරිම, හිනිදුම සහ මීටියාගොඩ ප්‍රදේශවල අවන්හල් දෙකකදී සිදුවූ වෙඩි තැබිම්, හිනිදුම මහබෝධිවත්ත නවාතැන් පොළකදී තිදෙනකු වෙඩිතබා ඝාතනය කිරිම, මීටියාගොඩ අවහන්හලක් තුළදී මත්පැන් පානය කරමින් සිටි පිරිසක් ඉලක්ක කරගෙන සිදුකළ වෙඩිතැබීම් ඇතුළු අපරාධ “කරන්දෙණිය සුද්දා”විසින් මෙහෙයවා ඇති අතර ඒවාට අදාළ අධිකරණ කටයුතු සඳහා මෙම නීතිඥවරයා ඇතුළු පිරිසක් සහභාගී වී ඇති බවත් තොරතුරු වාර්තා වුණා.
කෙසේ වෙතත් මෙම ද්විත්ව ඝාතනය සඳහා වෙඩික්කරුවන් පැමිණි බවට සැකකෙරෙන මෝටර් රථයේ ලියාපදිංචි අංක තහඩුව ‍ඔස්සේ විමර්ශන ක්‍රියාත්මක බව පොලිසිය පැවසුවා.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව, පොලිස් විශේෂ කාර්ය බලකාය, මධ්‍යම අපරාධ අංශය, විශේෂ කාර්යාංශය ඇතුළු පොලිස් කණ්ඩායම් 10ක් යොදවා විමර්ශන කඩිනම් කර ඇති බවයි ටීවී සුප්‍රීම් නිව්ස් කළ විමසීමකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශක, සහකාර පොලිස් අධිකාරි එෆ්. යූ වුට්ලර් මහතා සඳහන් කළේ.

Share