ඉන්දියාව සහ පාකිස්තානය අතර T 20 ලෝක කුසලාන මූලික වටයේ තරගය තහවුරු වීමත් සමග පෙර නොවූ විරූ තරම් ක්‍රිකට් උන්මාදයක් පැතිර ගොස් තිබෙනවා.
අයිසීසී ජාත්‍යන්තර තරග සංවිධාන කමිටු සභාපති රවීන් වික්‍රමරත්න මහතා පැවසුවේ තරගය නැරඹීම සඳහා 28,000කට අධික ප්‍රේක්ෂක පිරිසක් බලාපොරොත්තු වන බවයි.
එමෙන්ම ප්‍රවේශපත්‍ර ලබා ගැනීමට නොහැකි වූ ක්‍රීඩාලෝලීන්ට පුලුල් තිර ඔස්සේ තරගය නැරඹීමට අවශ්‍ය පහසුකම් සලසා දීම සඳහා අයිසීසීය සමග සාකච්ඡා කරන බව ද රවීන් වික්‍රමරත්න මහතා පැවසුවා.
මේ අතර අයිසීසී T20 ලෝක කුසලාන තරගාවලිය තුළ මහජන සාමය සහ ආරක්‍ෂාව උපරිමයෙන් තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශය ජනතාවට සහ ජාත්‍යන්තර ප්‍රජාවට සහතික වනවා.
අයි සී සී T20 ලෝක කුසලාන තරගාවලියේ වඩාත්ම ආන්දෝලනයට තුඩු දුන් තරගය වූයේ ඒ කාණ්ඩායේ ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගයයි.
බංග්ලාදේශයට සහය පල කිරීමක් ලෙස තරගය වර්ජනය කරන බව මුලින් පැවසූ පාකිස්තානය පසුව එම තීරණය හකුළා ගත්තා.
ක්‍රිකට් ලොව සාම්ප්‍රදායික පසමිතුරන්ගේ සංග්‍රාමයක් ලොව කොතැනක තිබුණත් ඊට ඇත්තේ ඉහළ ඉල්ලුමක්.
ඊට හේතුව ඔවුන් එකිනෙකා මුණ ගැසෙන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් තරගාවලියක දී පමණක් වීම හේතුවෙන්.
තරගය පැවැත්වීම තහවුරු වීමත් සමග ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගුවන් ප්‍රවේශපත්‍ර මිල ගණන් සීග්‍ර ලෙස ඉහළ ගියා.
මේ සති අන්තයේ දිල්ලියේ සිට කොළඹ දක්වා එයාර් ඉන්දියා, ඉන්ඩිගෝ සහ ශ්‍රීලන්කන් ගුවන් ප්‍රවේශපත්‍ර මිල ගණන් ඉන්දීය රුපියල් ලක්ෂය ඉක්මවා ගොස් තිබෙනවා.
සාමාන්‍යයෙන් දෙරට අතර ගුවන් ප්‍රවේශපත්‍ර මිල ගණන් පැවතියේ ඉන්දීය රුපියල් 15,000ක් වැනි මිලකටයි.
ඉන්දියාවේ චෙන්නායි, මුම්බායි වැනි නගරවල සිට කොළඹට පැමිණෙන ගුවන් යානාවල ප්‍රවේශපත්‍ර මිල ගණන් ද කැපී පෙනන ලෙස ඉහළ ගොස් තිබෙනවා.
එවන් පසුබිමක කොළඹ හා තදාසන්න ප්‍රදේශවල හෝටල් හා නවාතැන් පහසුකම් සඳහා වන ගාස්තු ද ඉහළ ගොස් ඇති අතර බොහෝ ස්ථානවල එකදු හෝ කාමරයක් ඉතිරිව නැතැයි වාර්තා වනවා.
මේ අතර ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය සදහා වන ප්‍රවේශපත්‍ර නිකුත් කිරීමට නියමිත බව අද දහවල් 12 සිට අයිසීසී වෙබ් අඩවියේ සදහන් වී තිබුණා.
නිල වෙබ් අඩවියේ ප්‍රවේශපත්‍ර “විකිණී අවසන්” බවට නිවේදනයක් නොතිබූ අතර, අදියර වශයෙන් බෙදා හැරීමේ ක්‍රියාවලිය යටතේ තවත් ටිකට්පත් කාණ්ඩයක් නිකුත් කරනු ඇතැයි පෙන්නුම් කරනවා.
ඉහළ ඉල්ලුමක් ඇති තරග සඳහා සංවිධායකයින් ප්‍රවේශපත්‍ර නිකුත් කරන්නේ අදියර වශයෙන්.
කෙසේ වෙතත් කළු කඩ වෙළෙඳපොළේ තරගයේ ප්‍රවේශපත්‍රයක් රුපියල් ලක්ෂයකට පමණ අලෙවි වන බවද වාර්තා වනවා.
තරගය පැවැත්වෙන ලබන ඉරිදා පස්වරු තුනට ක්‍රීඩාලෝලීන් සඳහා දොරටු විවෘත වනවා.
එම කාලසීමාව තුළ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනය අවට මාර්ග කිහිපයක රථවාහන ධාවනය සීමා කරන බව පොලිසිය පැවසුවා.
මෙම තරඟාවලියේ පවතින ජාත්‍යන්තර වැදගත්කම මෙන්ම ලොව පුරා විවිධ රටවලින් පැමිණෙන ක්‍රීඩකයින්, නිලධාරීන්, මාධ්‍යවේදීන් සහ ප්‍රේක්ෂකයින් විශාල පිරිස සැලකිල්ලට ගනිමින්; ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, බුද්ධි අංශ සහ අනෙකුත් ප්‍රධාන පාර්ශවකරුවන්ගේ දායකත්වයෙන් සැකසූ ඒකාබද්ධ ආරක්‍ෂක සැලැස්මක් සම්බන්ධීකරණය කර ඇතැයි ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් පැවසුවා.
සියලුම තරඟ පැවැත්වෙන ක්‍රීඩාංගන, කණ්ඩායම් රැඳී සිටින හෝටල්, පුහුණු මධ්‍යස්ථාන, ගුවන් තොටුපළ සහ නම් කරන ලද ප්‍රේක්ෂක කලාප සඳහා විශේෂ ආරක්‍ෂක විධිවිධාන යොදවා ඇතැයි නිවේදනයේ සඳහන්.
තරඟාවලිය පැවැත්වෙන කාල සීමාව පුරාම සුරක්‍ෂිත පරිසරයක් සහතික කරනු පිණිස විසිහතර පැය පුරා ක්‍රියාත්මක ආරක්‍ෂක පද්ධති, ප්‍රවේශ පාලන ක්‍රියා පටිපාටි, වාහන පරීක්‍ෂා කිරීමේ ස්ථාන සහ ප්‍රේක්‍ෂක හැසිරවීමේ ක්‍රමවේදයන් ක්‍රියාත්මක කරනු ලබන බව ආරක්ෂක අමාත්‍යංශය නිවේදනය කළා.
සිය නිවේදනය මගින් ආරක්ෂක අමාත්‍යංශය පවසන්නේ CCTV නිරීක්‍ෂණ සහ තත්කාලීන බුද්ධි තොරතුරු සම්බන්ධීකරණය ඇතුළු ආවේක්‍ෂණ පද්ධති හරහා, පවතින තත්ත්වයන් නිරීක්‍ෂණය සහ කඩිනම් ප්‍රතිචාර දැක්වීමේ හැකියාව තවදුරටත් ශක්තිමත් කෙරෙන බවයි.
එසේම, ගුවන් අවකාශය පිළිබඳ නිරීක්‍ෂණ කටයුතු ද ඉහළ නංවා ඇතැයි ද පවසන ආරක්‍ෂක අමාත්‍යාංශය, ඕනෑම හදිසි අවස්ථාවකදී ප්‍රතිචාර දැක්වීම සඳහා වෛද්‍ය ඒකක ඇතුළු හදිසි ප්‍රතිචාර කණ්ඩායම් සීරුවෙන් තැබීමට පියවර ගෙන තිබෙන බවද සඳහන් කරනවා.
තරඟාවලියේ උත්සවශ්‍රීය ආරක්‍ෂා වන පරිදි මහජන සාමය සහ ආරක්‍ෂාව උපරිමයෙන් තහවුරු කිරීම සඳහා අවශ්‍ය සියලු පියවර ගෙන ඇති බව ආරක්‍ෂක අමාත්‍යාංශය ජනතාවට සහ ජාත්‍යන්තර ප්‍රජාවට සහතික වනවා.
ආරක්‍ෂක නිලධාරීන් සමඟ සහයෝගයෙන් කටයුතු කරන ලෙසත්, ක්‍රීඩාංගණ මාර්ගෝපදේශ පිළිපදින ලෙසත්, ඕනෑම සැකකටයුතු ක්‍රියාවක් පිළිබඳ බලධාරීන් දැනුවත් කරමින් මහජන ආරක්‍ෂාව තහවුරු කිරීම සඳහා සහාය වන ලෙසත්, අමාත්‍යාංශය ප්‍රේක්ෂකයින් ඇතුළු ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.




