2024 වසරේ ඇති වූ ශිෂ්‍ය අරගලයෙන් පසු බංග්ලාදේශයේ පැවැත්වූ පළමු මහ මැතිවරණයෙන් තාරික් රහ්මාන්ගේ නායකත්වයෙන් යුත් බංග්ලාදේශ ජාතික පක්ෂයට විශිෂ්ට ජයක් හිමිව තිබෙනවා.
අද පෙරවරුව වෙන විට නිකුත් කළ නිල ප්‍රතිඵලවලට අනුව බංග්ලාදේශ ජාතික පක්ෂය මන්ත්‍රී ආසන 300න්, ආසන 151ක් ජයග්‍රහණය කර තිබූ අතර, ප්‍රධාන ප්‍රතිවාදියා වූ ජමාත්-ඊ-ඉස්ලාමි සන්ධානය ආසන 46ක ජය හිමිකරගෙන තිබුණා.
කෙසේ නමුත් නිල නොවන ප්‍රතිඵල වාර්තා කරන්නේ බංග්ලාදේශ ජාතික පක්ෂය ආසන 211ක් සහ ජමාත්-ඊ-ඉස්ලාමි සන්ධානය ආසන 70ක ජය හිමිකරගෙන ඇති බවයි.
වසර 15ක් බංග්ලාදේශයේ පාලන බලය දැරූ ෂෙයික් හසීනා පලවාහැරීමෙන් පසු බංග්ලාදේශයේ පළමු වරට පැවැත්වූ මහ මැතිවරණයට තරග කිරීම හසීනාගේ අවාමි ලීගයට තහනම් කර තිබූ බැවින්, මෙම මැතිවරණය බංග්ලාදේශ ඉතිහාසය අලුතින් ලියන මැතිවරණයක් ලෙසයි විචාරකයින් හඳුන්වා තිබුණේ.
ඒ් අනුව දිගු කලක් රටින් පිටුවහල්ව ලන්ඩනයේ දේශපාලන රැකවරණ ලබමින් සිටි හිටපු අගමැතිනි ඛලීඩා ෂියාගේ පුත් තරීක් රහ්මාන්, දණ්ඩ මුක්තිය ලැබ නැවත සිය රට පැමිණ, මැතිවරණය සඳහා, බංග්ලාදේශ ජාතික පක්ෂයට නායකත්වය සැපයූ අතර, මැතිවරණ ප්‍රතිඵල නිල වශයෙන් තහවුරු කිරීමෙන් පසු ඔහු එරට නව අගමැතිවරයා වශයෙන් දිවිරුම් දීමට නියමිතයි.
කෙසේ නමුත් මැතිවරණ ජය සැමරීම වෙනුවෙන් උත්සව සංවිධානය නොකරන ලෙස උපදෙස් දී ඇති බංග්ලාදේශ ජනතා පක්ෂ නායකයින්, පස්වරුවේ දේවස්ථාන වෙත රැස්ව යාඥා කරන ලෙස සිය ආධාරකරුවන්ගෙන් ඉල්ලා තිබුණා.
ෂෙයික් හසීනා ඉන්දියාවට පලා යෑමෙන් පසු බංග්ලාදේශය සමග බිඳවැටුණු සබඳතා නරක අතට හැරී තිබියදී වුව ද මැතිවරණ ජය වෙන්වෙන් බංග්ලාදේශ ජනතා පක්ෂයට සුබ පැතුම් පළ කළ පළමු රටවල් අතරට ඉන්දියාව එක්ව තිබුණා.
” ප්‍රජාතන්ත්‍රවාදී, ප්‍රගතිශීලී බංග්ලාදේශයක් සඳහා සහාය දැක්වීමට ඉන්දියාව දිගටම සිටින බවත්, නව අගමැති රහ්මාන් සමඟ වැඩ කිරීමට බලාපොරොත්තු වන බවත් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සුබපැතුම් පළ කරමින් සඳහන් කර තිබුණා.




