දකුණු අප්‍රිකාව T 20 ලෝක කුසලාන බලාපොරොත්තු තවදුරටත් ඉහළට ඔසවා ගන්නට ඇෆ්ගනිස්ථානය සමග සුපිරි පන්දුවාර දෙකක් ක්‍රියාත්මක වූ තරගයකින් අනතුරුව අද සමත් වුණා.
අහමදාබාද් හි පැවති තරගය ක්‍රිකට් ප්‍රේක්ෂකයන්ට කලකට අමතක නොවන අත්දැකීමක් බවට සැක නැහැ.
කණ්ඩායම් දෙකම ලකුණු සම වූ මෙම තරගයේ ජයග්‍රහාකයා තීරණය කිරීම සඳහා සුපිරි පන්දුවාර දෙකක් ක්‍රියාත්මක කිරීමට සිදුවීම විශේෂත්වයක්.
ඇෆ්ගනිස්තානය අද අහමාදාබාද් හි ලොව විශාලතම ක්‍රිකට් ක්‍රීඩාංගනය වන නරේන්ද්‍ර මෝදි ක්‍රීඩාංගනයට පිවිසියේ අයිසීසී T20 ලෝක කුසලාන බලාපොරොත්තු තවදුරටත් තබා ගැනීමට නම් තරගය ජයගැනීම අනිවාර්ය වූ පසුබිමකයි.
2024 තරගාවලියේ අවසන් පූර්ව තරගයේ දී ලෝක කුසලාන බලාපොරොත්තු සුනු විසුණු කළ දකුණු අප්‍රිකාව ම මෙවරත් ඔවුන්ගේ ප්‍රතිවාදීන් වීම විස්මයජනක හමුවීමක් වුණා.
ක්වින්ටන් ඩි කොක් සහ රයන් රික්ල්ටන් අර්ධ ශතක ලබමින් දකුණු අප්‍රිකානු ඉනිම කඩුලු 6ක් දැවී ලකුණු 187ක් දක්වා ඔසවා තැබුවා.
ජයග්‍රාහී ඉලක්කය හඹා ගිය ඇෆ්ගන් පිතිකරුවන් පළමු පන්දුවාර 4 තුළ ලකුණු 50ක් රැස් කරමින් හොඳ ආරම්භයක් ලබා ගත්ත ද එය ස්ථාවරය පවත්වාගෙන යෑමට අසමත් වුණා.
කෙසේ වෙතත් ඉනිම සවිමත් කළ රහ්මනුල්ලා ගුර්බාස් ලකුණු 84ක් රැස් කළේ හයේ පහර 7ක් සමගින්.
අවසන් පන්දුවාරයේ දී ඇෆ්ගනිස්තානයට එක් කඩුල්ලක් පමණක් අතැතිව ජයග්‍රහණය සඳහා අවශ්‍යව තිබූ ලකුණු ගණන 13ක්.
කගීසෝ රබාඩා පළමු පන්දුවෙන්ම කඩුල්ල දවා ගත්ත ද එය නිපන්දුවක් ලෙස සංඥා කෙරුණා.
දෙවැනි පන්දුව වයිඩ් පන්දුවක් වූ අතර සිව්වැනි පන්දුවට හයේ පහරක් එල්ල කළ නූර් අහමඩ් තරගය යළි ඇෆ්ගනිස්තානය වෙත යොමු කර ගත්තා.
රබාඩා යළි නිපන්දුවක් යොමු කළ අතර ඊට තවත් ලකුණු 2ක් එකතු කර ගන්නට නූර් සහ ෆරූකි සමත් වුණා.
ෆ්‍රී හිට් පන්දුව ද සමග පන්දු තුනක දී ජයග්‍රහණය සඳහා අවශ්‍ය වූයේ ලකුණු 2ක් පමණයි.
දෙවැනි ලකුණ සම්පූර්ණ කර ගැනීමට යෑමේ දී ෆරූකි දුවද්දී දැවී යෑමකට හසු වුණේ තරගයේ තීරණය සුපිරි පන්දු වාරයකට යොමු කරමින්.
Lungi Ngidi ක්‍රියාත්මක කළ සුපිරි පන්දුවාරයේ දී අස්මතුල්ලා ඔමාර්සායි ලකුණු 17ක් රැස් කර ගත්තා.
එය රැකගැනීමේ වගකීම පැවරුණේ ෆසාල්හක් ෆරූකි වෙතයි.
කඩුල්ලක් දවා ගත්ත ද අවසන් පන්දුවට හයේ පහරක් එල්ල කරමින් ට්‍රිස්ටන් ස්ටබ්ස් යළි ලකුණු සම කළා.
ඒ අනුව ජයග්‍රාහකයන් තීරණය කීරීම සඳහා දෙවැනි සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කිරීමට සිදුවුණා.
ස්ටබ්ස් සහ ඩේවිඩ් මිලර් එම පන්දුවාරය යොමු කළේ අස්මතුල්ලා ඔමාර්සායි වෙතින් ලකුණු 23ක් උදුරා ගත්තා.
කේෂව් මහරාජ් යොමු කළ පන්දුවාරයේ දෙවැනි පන්දුවේ දී නබී දැවී ගිය අතර පන්දු හතරක දී ජයග්‍රහණයට අවශ්‍යව තිබූ ලකුණු ගණන 24ක්.
ගුර්බාස් පන්දු තුනක් හතරේ සීමාවෙන් ඔබ්බට ඉහළින් යොමු කළ නමුත් ඊළඟ පන්දුව වයිඩ් පන්දුවක් ලෙස සටහන් වුණා.
හතරේ පහරක් එල්ල කළේ නම් තෙවැනි සුපිරි පන්දුවාරයක් වෙත ද තරගය යොමු වනු ඇතිව තිබුණ ද ගුර්බාස්ගේ පිත්තෙන් නික්මුණු පන්දුව පොයින්ට් හි සිටි මිලර් සිය දෑත් තුළ සුරක්ෂිතව රඳවා ගත්තා.
ඇෆ්ගනිස්ථානය සුපිරි පන්දුවාර දෙකක් ක්‍රියාත්මක කළ තරගයක් පරාජය වූ දෙවැනි අවස්ථාව මෙය වීමත් විශේෂත්වයක්.
ඒ අනුව මෙවර ලෝක කුසලාන තරගාවලියේ සුපර් එයිට් වටයට පිවිසීමට නම් කැනඩාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමග පැවැත්වෙන තරග දෙකම ඇෆ්ගනිස්තානය ඉතා ඉහළ දල ලකුණු වේගයක් සමග ජය ගත යුතු වනවා.





