මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනයට සම්බන්ධ නඩුව තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහර දී ඝාතනය කළ බවට විත්තිකරුවන් 41 දෙනෙකුට එරෙහිව පවරා ඇති නඩුවේ තීන්දුව අද ගම්පහ මහාධිකරණයේදී ප්‍රකාශයට පත් කිරීමට නියමිතයි.
සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි සහ රසන්ත ගොඩවෙළ යන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරුවරු මඩුල්ල හමුවේ මෙම නඩුව විභාග කෙරුණා.
2022 මැයි මාසයේ අරගල සමයේදී නිට්ටඹුව නගරයේදී පොළොන්නරුව දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළ සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියා ඝාතනය කෙරුණා.
ඔවුන් ඝාතනයට ලක් වුණේ තවත් පිරිසක් සමග මන්ත්‍රිවරයාගේ මෝටර් රථයෙන් අරලියගහ මන්දිරයේ පැවැති ජන හමුවකට එක්වී ආපසු පොළොන්නරුව බලා යන ගමනේදී.
සිද්ධියට අදාළව පුද්ගලයන් 41 දෙනකුට නීතිපතිවරයා ගම්පහ මහාධිකරණය හමුවේ චෝදනා ගොනු කළා.
සහන් මාපා බණ්ඩාර, රශ්මි සිංගප්පුලි හා රසන්ත ගොඩවෙල යන මහාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ 2023 වසරේ සිට මෙම නඩුව විභාග කෙරුණු අතර එහිදී සාක්කිකරුවන් එකසිය අසූ දෙනකුගෙන් සාක්කි ලබා ගත්තා.
පුද්ගල සාක්කිවලට අමතරව සීසීටීවී දර්ශන මගින් මුහුණු හඳුනාගැනීම, ඩී එන් ඒ පරීක්ෂණ, වීඩියෝ හා සොකෝ නිලධාරී පරීක්ෂණ මූලික කර ගනිමින් එක් එක් සැකකරුවන් සම්බන්ධයෙන් සාක්ෂි අධිකරණය හමුවේ ඉදිරිපත් කෙරුණා.
මනුෂ්‍ය ඝාතනය, වාහනයක් ගිනි තැබීම, නීති විරෝධී රැස්වීමක සාමාජිකයන්වීම, දේපළ කොල්ලකෑම ආදී චෝදනා සැකකරුවන්ට එල්ල වී තිබෙනවා.
මෙම සැකකරුවන් අතර විශ්වවිද්‍යාලයේ අධ්‍යාපන ලබන සිසුන් දෙදෙනකුද වන අතර ත්‍රිරෝද රථ රියදුරන්, නගරයේ වෙළෙඳසල් පවත්වාගෙන යන කීපදෙනකුද සිද්ධිය වූ වෙළෙද ආයතනයේ සේවකයන් දෙදෙනකුද ඇතුළු නිට්ටඹුව හා ඒ අවට ප්‍රදේශයේ පුද්ගලයන් පිරිසක් චෝදනා ලැබ සිටිනවා.
නඩුවේ තුන්වන විත්තිකරු අධිකරණය මගහැරීමේ චෝදනා මත නඩු විභාගය අවසන් වන තුරු රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.
මෙම නඩුවේ තීන්දුව පසුගිය ජනවාරි 14 වැනිදා ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබුණ ද එදින තීන්දුව ප්‍රකාශ කිරීම අද දිනය දක්වා කල්තබන බව අධිකරණය දැනුම් දුන්නා.
තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතව ඇති පසුබිමක ගම්පහ මහාධිකරණ පරිශ්‍රයේ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මකයි.

Share